Sasaගෙන් ගෝල 3ක්; Crystal Palaceට ගෝල 5ක ජයක්

ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලිය 2022

156
Champions League 2022 week 7

ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලියේ 7 වැනි සතියේ දෙවැනි දිනයේ තරග දෙකක් අද කොළඹ දී සහ කුරුණෑගල දී පැවැත්වුනා.

එහි දී Super Sun සහ Negombo Youth පරාජය කරමින් ජයග්‍රහණ වාර්තා කරන්නට පිළිවෙළින් Crystal Palace සහ Pelicans කණ්ඩායම් සමත් වුනා.

Super Sun SC සහ Crystal Palace FC

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය අවසන් වුනේ ගෝල 5-2ක් ලෙස Crystal Palace ක්‍රීඩකයින් ජයග්‍රහණය වාර්තා කරමින්.

තරගාරම්භයෙන් මිනිත්තු 3ක් ගත වෙද්දී ලකුණු පුවරුව ක්‍රියාත්මක කරන්නට Crystal Palace ක්‍රීඩක Mohamed Afnath සමත් වුනා. ඉන් අනතුරුව Mohamed Fahmy විසින් Crystal Palace ලකුණු පුවරුව දෙගුණ කරන්නට සමත් වන්නේ 25 වැනි මිනිත්තුවේ දීයි.

ප්‍රථම අර්ධය පුරාවට Super Sun ක්‍රීඩකයින්ට ලකුණු වාර්තා කරන්නට අවස්ථාවක් හිමි නොවූ අතර Afnath ප්‍රථම අර්ධයේ අතිරේක කාලයේ දී සිය දෙවැනි ගෝලය වාර්තා කරමින් ගෝල 3-0ක් ලෙස තරගයේ පෙරමුණ Crystal Palace වෙත දිනා දුන්නා.

කෙටි විවේකයෙන් පසුව ආරම්භ වූ දෙවැනි අර්ධයේ දී Fahmy විසින් නැවත වරක් සාර්ථකව ගෝලයක් දැල් ගත කරන්නට සමත් වුනා. ඒ 56 වැනි මිනිත්තුවේ දීයි. Crystal Palace ලකුණු පුවරුවට 5 වැනි ගෝලය එකතු කරන්නට Jimoh Ibrahim සමත් වන්නේ 85 වැනි මිනිත්තුවේ දීයි.

මෙතුවක් වේලා නිහඬව සිටි Super Sun ක්‍රීඩකයින් ද ගෝල වාර්තා කරන්නට ආරම්භ කරන්නේ 85 වැනි මිනිත්තුවේ දීයි. එන්. එන්. කසුඟ විසින් වාර්තා කළ එම ගෝලයෙන් පසුව ඔහු සිය දෙවැනි ගෝලයත් වාර්තා කරන්නට සමත් වන්නේ 90+1 මිනිත්තුවේ දියි.

කෙසේ නමුත් අවසානයේ තරගයේ නියමිත කාලය අවසන් වීම නිසාවෙන් ගෝල 5-2ක් ලෙස ජයග්‍රහණය වාර්තා කළේ Crystal Palace ක්‍රීඩකයින් විසිනුයි.

අවසන් ලකුණු තත්වය: Super Sun SC 2 – 5 Crystal Palace FC

ගෝල ලාභීන්:

  • Super Sun – එන්. එන්. කසුඟ (85’ & 90+1’)
  • Crystal Palace – Mohamed Afnath (3’ & 45+1’), Mohamed Fahmy (25’, 56), Jimoh Ibrahim (85’)

Pelicans SC සහ Negombo Youth FC

කුරුණෑගල මාලිගාපිටිය ක්‍රීඩාංගණයේ වර්ෂාව මධ්‍යයේ පැවති මෙම තරගයේ දී මීගමුව ක්‍රීඩකයින් පරාජය කරමින් ගෝල 4-3ක ජයග්‍රහණයක් වාර්තා කරන්නට Pelicans ක්‍රීඩකයින් සමත් වුනා.

උද්වේගකර තරගයක පෙරනිමිති පහල කරමින් Pelicans ක්‍රීඩක Teofanov Sasa විසින් පළමු ගෝලය වාර්තා කරන්නේ 6 වැනි මිනිත්තුවේ දීයි. ඊට ප්‍රතිඋත්තර දෙන්නට පසුබට නොවූ මීගමුව නායක නිලූක ජනිත් සාර්ථකව ගෝලයක් දැල් ගත කරන්නට සමත් වුනා. ඒ 8 වැනි මිනිත්තුවේ දීයි.

ඉන්පසුව නැවත වරක් ක්‍රියාත්මක වූ Sasa 22 වැනි මිනිත්තුවේ දී Pelicans ලකුණු පුවරුව දෙගුණ කළේ තවත් ගෝලයක් සාර්ථක කර ගනිමින්.

2-1ක් ලෙස නිමා වූ පළමු අර්ධයෙන් පසුව දෙවැනි අර්ධය තරමක් උණුසුම් මුහුණු වරක් ගත් අතර මීගමුව ක්‍රීඩක Anthony Ikwegbuo විසින් ගෝලයක් වාර්තා කරන්නට සමත් වුනා. ඒ 52 වැනි මිනිත්තුවේ දීයි.

එම ගෝලයෙන් පසුව Pelicans වෙනුවෙන් 67 වැනි මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කරන්නට Nafshan Mohamed සමත් වුනා. ඉන් අනතුරුව Ikwegbuo විසින් දෙවැනි ගෝලය වාර්තා කරන්නට සමත් වුනේ 69 වැනි මිනිත්තුවේ දීයි.

ඒ සමඟින් තරගයේ ගෝල සම වෙමින් දෙපිලටම ජයග්‍රහණය සඳහා දොරටු විවර වූ නමුත් Sasa විසින් 89 වැනි මිනිත්තුවේ දී සිය තෙවැනි ගෝලය වාර්තා කරමින් Pelicans ජයග්‍රහණය කරා රැගෙන ගියා.

අවසන් ලකුණු තත්වය: Pelicans SC 4 – 3 Negombo Youth FC

ගෝල ලාභීන්:

  • Pelicans – Teofanov Sasa (6’, 22’ & 89’), Nafshan Mohamed (67’)
  • Negombo Youth – නිලූක ජනිත් (8’), Anthony Ikwegbuo (52’ & 69’)

ශූරයින්ගේ ලීගයේ 7 වැනි සතියේ අවසන් තරගය හෙට (01) Solid සහ Serendib කණ්ඩායම් අතර මාලිගාපිටියේ දී පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ සියලුම පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<