තර්ස්ටන් – ඉසිපතන සහෝදර සංග්‍රාමයේ අභියෝගය

61st Battle of the Brothers

203

කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතර 61 වැනි වරටත් බ්ලැක්හැම් විජේවර්ධන අනුස්මරණ කුසලානය වෙනුවෙන් පැවැත්වෙන සහෝදර සංග්‍රාම වාර්ෂික මහා ක්‍රිකට් තරගය මේ මස 24 සහ 25 දෙදින කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ Tier B තරගාවලිය යටතේ මෙම කණ්ඩායම් 2 ම තරගාවලියට එක් වීම විශේෂයි.

කෙසේ වෙතත් නිමා වූ එක්දින ක්‍රිකට් තරගාවලියේ සම ශූරයන් වීමට තර්ස්ටන් කණ්ඩායම සමත් වීම කැපී පෙණුනා. ඉසිපතන විද්‍යාලය ද සැලකිය යුතු මට්ටමේ දක්ෂතා දක්වන කණ්ඩායමක් ලෙසින් සැලකේ.

මෙවර තර්ස්ටන් විද්‍යාලය මෙහෙයවීමේ වගකීම පැවැරී ඇත්තේ වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ද නියෝජනය කරන විහස් තෙව්මික වෙතයි. ඔහුගේ සහායකයා වන්නේ ශානික්‍ය දේශප්‍රියයි.

සිතුක ගුණවර්ධන ඉසිපත විද්‍යාලයීය කණ්ඩායම මෙහෙයවනු ලබන අතර ඔහුගේ සහායකයා වන්නේ තරුෂ්ක අශේන්.

දෙවිදුහල් තරග ඉතිහාසය 1964 වසරේ සිට පැවැත්වෙන අතර මෙතෙක් පැවැති තරග අතුරින් අවස්ථා 6ක දී තර්ස්ටන් විද්‍යාලය ජයග්‍රහණය කර තිබෙනවා.

අවසන් වරට තරගයක් ජයග්‍රණය කිරීමෙ ගෞරවය මෙන් ම මේ වන විට බ්ලැක්හැම් විජේවර්ධන අනුස්මරණ කුසලාන සන්තක ව තබා ගැනීමේ ගෞරවයත් හිමි ව තිබෙන්නේ 2019 වසරේ තරගය ජයගත් තර්ස්ටන් විද්‍යාලයටයි. ඔවුන් එම වසරේ දී සඳරු ඩයස්ගේ නායකත්වය යටතේ කඩුලු 10ක ජයග්‍රහණයක් ලබා ගන්නවා.

ඉසිපතන විද්‍යාලය මෙතෙක් ජයග්‍රහණය කර ඇත්තේ තරග 4ක් පමණක් වන අතර ඔවුන් අවසන් වරට ජයග්‍රහණයක් වාර්තා කර ගෙන ඇත්තේ ක්‍රිශාන්ත ජයවර්ධනගේ නායකත්වය යටතේ 1999 වසරේදීයි.

තවත් තරග 49ක් විසඳුමකින් තොරව අවසන් ව ඇති අතර එක් තරගයක් අතහැර දැමුණ තරගයක් ලෙසින් ඉතිහාසයට එක් ව තිබේ.

තර්ස්ටන් විද්‍යාලය

මෙවර තරගාවලියේ වඩාත් ම කැපී පෙණෙන තර්ස්ටන් ක්‍රීඩකයා වන්නේ තරග 9ක ඉනිම් 17ක දී අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 577ක් ලබා සිටින තනුජ රාජපක්ෂ යි. ඊට අමතර ව දිනාල් ඉඳුවර අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 466ක් ද ලබා සිටී.

පන්දු යවන්නන් අතුරින් ඉහළ ම දක්ෂතා දක්වා ඇත්තේ තනුග පලිහවඩන. එහු තරග 8ක දී කඩුලු 46ක් ලබා සිටිනවා. ඊට අමතර ව සේත්රු ප්‍රනාන්දු තරග 7ක දී කඩුලු 32ක් ලබා තිබෙනවා.

තර්ස්ටන් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ සංචිතය:

විහස් තෙව්මික (නායක), ශානික්‍ය දේශප්‍රිය (උප නායක), නවිඳු ප්‍රනාන්දු, තනුග පළිහවඩන, ටනුජ රාජපක්ෂ, විශ්ව ධනංජය, ටලීෂ නානායක්කාර, ගගන පෙරේරා, ඩිනාල් ඉඳුවර, යොවුන් ශිල්ප, රචින්ත ද සිල්වා, සෙත්රු ප්‍රනාන්දු, මුලිත ද සිල්වා, හරත් ශලක, පැතුම් ධනංජය, ආදිත්‍ය සෙත්මිණ.

නිලධාරීන්: ප්‍රමුදිත වික්‍රමසිංහ (විදුහල්පති), ඩබ්ලිව්. ඒ. එස්. ප්‍රියදර්ශන (ක්‍රිකට් භාර ආචාර්ය), සුනෙත් ගුණතිලක (ප්‍රධාන පුහුණුකරු), දුල්ෂාන් ඇල්වලගේ (සහාය පුහුණුකරු), රුසිරු මුණසිංහ (සහාය පුහුණුකරු).

ඉසිපතන විද්‍යාලය

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස අවුරුදු 19න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියට එක් වෙමින් ඉසිපතන විද්‍යාලය මේ දක්වා ක්‍රීඩා කර ඇත්තේ තරග 7කට පමණයි. එහි දී ධර්මපාල විද්‍යාලයට, මොරටුව විද්‍යාලයට, ගාල්ල මහින්ද විද්‍යාලයට සහ වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලයට එරෙහිව ජයග්‍රහණ වාර්තා කරන ඔවුන් රත්ගම දේවපතිරාජ විද්‍යාලයට සහ මරදාන සහිරා විද්‍යාලයට එරෙහි ව පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගනිමින් ද සහ මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය සමඟ තරගයේ විසඳුමකින් තොරව අවසන් කරමින් ප්‍රසාද ලකුණු පුවරුවේ ඉහළ අසුනක රැදී සිටිනවා.

ඉසිපතන විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණුලාභී පිතිකරුවා වූයේ රුචිත් රොද්‍රිගෝ. ඔහු තරග 6ක ඉනිම් 9ක දී පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට එරෙහිව ලබා ගත් ශතකයක් සමඟින් ලකුණු 305ක් ලබා තිබෙනවා. ඊට අමතර ව මොරටු විද්‍යාලයට එරෙහිව ශතකය ලකුණකින් අහිමි කර ගත් කෙවින් සැමුවෙල් තරග 6ක ඉනිම් 8ක දී ලකුණු 206ක් ලබා සිටිනවා.

ඊට අමතර ව මලීෂ සඳරුවන්, රන්මිත් දිනුවර, තරුෂ ආර්ෂල් සහ ලෙසඳු කල්පගේ අර්ධ ශතකලාභීන් ලෙසින් ඉසිපතන විද්‍යාලය වෙනුවෙන් දක්ෂතා දැක් වූ පිතිකරුවන් ලෙසින් වර්ගීකරණයට ලක් ව සිටිනවා.

පන්දු යැවීමේ දී සිතුක ගුණවර්ධන තරග 6ක දී කඩුලු 42ක් දවා ගනිමින් ඉසිපතන වෙනුවෙන් වැඩිම කඩුලු ලැබූ පන්දු යවන්නා බවට පත් ව සිටිනවා. ඔහු මෙවර තරගාවලියේ දී හොඳම පන්දු යැවීම යවනු ලබන්නේ කොළඹ සහිරා විද්‍යාලයට එරෙහිවයි. එහි දී ඔහු ලකුණු 53කට කඩුලු 7ක් දවා ගන්නවා.

ඊට අමතර ව තරගයක දී හොඳම පන්දු යැවීම ලෙසින් රත්ගම දේවපතිරාජ විද්‍යාලයට එරෙහිව ඉනිම 2 දී ලකුණු 103කට කඩුලු 10ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා.

ඉසිපතන පන්දු යවන්නන්ගේ බලඇණිය වෙනුවෙන් චනුල් දිනෝත්, තරුෂ්ක ආශෙල්, දසිත් සෙනාල්, සෙල්වකදීර් කබිලේශ්වරන් පෙළ ගැසී සිටිනවා.

ඉසිපතන විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම:

සිතුක ගුණවර්ධන (නායක), තරුශ්ක ආශෙල් (උප නායක), රන්මිත් දිනුවර, නවිඳු හෙට්ටිආරච්චි, රුචිත් රොද්‍රිගෝ, කෙවින් සැමුවෙල්, චනුල් දිනෝත්, දුශාන් මාලිංග, දිල්ප රුවනක, ෂෙනාල් දිරෝෂ්, තිතිර සන්සිරු, මොහොමඩ් අශ්ජෙඩ්, සෙල්වකදීර් කබිලේශ්වරන්, ජනිඳු ඉඳුවර, දසිත් සෙනාල්, ලෙසඳු කල්පගේ, මලීෂ සඳරුවන්, නතිඳු සෙනුම් සහ විදුන් ගෙනුර.

නිලධාරීන්: ඔෂඳ පණ්ඩිතරත්න (විදුහල්පති), සුමේධ චානක (ක්‍රීඩා භාර ආචාර්ය), ජයන්ත දසනායක (ක්‍රිකට් භාර ආචාර්ය) හේෂාන් තිලකරත්න (ප්‍රධාන පුහුණුකරු), තුශල් ආදිත්‍ය (සහාය පුහුණුකරු).

දෙවිදුහල් අතර පැවැත්වෙන 44 වැනි වාර්ෂික එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගය මාර්තු මස 17 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දි පැවැත්වේ. මෙම තරග මාලාව ඩබ්ලිව්. ඒ. ද සිල්වා අනුස්මරණ කුසලානය වෙනුවෙනි.

එමෙන් ම දෙවිදුහල් අතර 17 වැනි වරටත් පැවැත්වෙන  වාර්ෂික විස්සයි විස්ස තරගය මාර්තු මස 09 වැනිදා කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය පිටියේ දී පැවැත්වීමට නියමිතයි. එම තරග මාලාව ක්‍රියාත්මක වෙන්නේ ප්‍රියා පරණවිතාන අභියෝගතා කුසලානය වෙනුවෙනුයි.

මෙම තරග ත්‍රිත්වයේ දී ම තරග ඉතිහාසය වෙනස් කිරීමට මෙවර කණ්ඩායම් දෙක ම තම තමන්ගේ උපරිම දක්ෂතාවන් මෙම තරගවල දී මුදාහැරීමට සූදානම් සිටිනු නියතයි. එහි දී තර්ස්ටන් ක්‍රීඩකයෝ එක්දින තරගාවලියේ ශූරයන් වීමේ අභිමානයත් සමඟ මෙම තරගයට පිවිසීම කාගේත් අවධානයට ලක් වී ඇති කාරණයක් වී තිබේ.

එසේ වූවත් දෙදින තරගාවලියේ දී ඉසිපතන ක්‍රීඩකයෝ මෙතෙක් දැක් වූ දක්ෂතා හේතුවෙන් ඔවුන් ද මෙම තරගයේ දී වැඩි වාසි තමන් වෙත අත්පත් කර ගනු ඇතැයි සිතිය හැකියි.

ප්‍රතිවාදින්ගේ එම අභියෝගයන් ද සමඟින් තව තවත් සවිමත් වන සහෝදරවරුන්ගේ සංග්‍රාමයට ThePapare.com හී උණුසුම් සුබ පැතුම්!

61 වැනි සහෝදරයින්ගේ සටනේ සජීවී අත්දැකීම ඔබ වෙත සමීප කිරීමට ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සූදානම්.

ඒ අනුව මෙම තරගය ThePapare.com, ThePapare TV HD (Dialog රූපවාහිනී නාලිකා 126) සහ Dialog ViU app වෙත ප්‍රවිශ්ඨ වීමෙන් දැක බලා ගත හැකියි. තරගයේ උණුසුම ඒ ආකාරයෙන් ම රස විඳීමට රැඳී සිටින්න ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<