ටමාදි සහ සෆුල්ලා වැඩිම පදක්කම් දිනා ගනී

South Asian Youth Table Tennis Championship 2023

400

පසුගිය දා ඉන්දියාවේ දී නිමා වූ දකුණු ආසියානු යොවුන් මේසපන්දු ශූරතාවලියේ දී ශ්‍රී ලංකාව අනුශූරතාව දිනා ගනිද්දී, ටමාදි කවින්ද්‍යා සහ සෆුල්ලා අක්‍රම් වැඩිම පදක්කම් දිනා ගනිමින් දක්ෂතා දැක්වීම කැපී පෙනුණා.

අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය නියෝජනය කරමින් තරගාවලියට එක් වූ ටමාදි කවින්ද්‍යා තමන් සහභාගී වූ සෑම ඉසව්වකින් ම පදක්කම් දිනා ගත් අතර මහනුවර අල් හුදා ජාත්‍යන්තර පාසල නියෝජනය කරමින් තරගාවලියට එක් වූ සෆුල්ලා අක්‍රම් ද තමන් සහභාගී වූ සෑම ඉසව්වකින් ම පදක්කම් දිනා ගැනීමට සමත් වුනා.

ටමාදි වයස අවුරුදු 15න් පහළ බාලිකා කණ්ඩායමේ නායිකාව ලෙසත්, සෆුල්ලා අක්‍රම් වයස අවුරුදු 15න් පහළ බාලක කණ්ඩායමේ නායකයා ලෙසත් කටයුතු කළා. ඔවුන් දෙදෙනා විසින් රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කම් 2ක් බැගින් දිනා ගත්තා.

ශ්‍රී ලංකා වයස අවුරුදු 15න් පහළ මේසපන්දු සහ 19න් පහළ මේසපන්දු කණ්ඩායම් තරගාවලියේ රිදී පදක්කම් දිනා ගැනීමට සමත් වුනා. 19න් පහළ බාලිකා කණ්ඩායමේ නායිකාව ලෙස අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ දිව්‍යා ධරණි චන්ද්‍රගුප්ත කටයුතු කළ අතර 19න් පහළ බාලක කණ්ඩායමේ නායකයා ලෙස කොළඹ ආනන්ද විද්‍යාලයේ තිසුම් ගමගේ කටයුතු කළා.

අනුශූර ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේ දී රිදී පදක්කම් 5ක් සහ ලෝකඩ පදක්කම් 8ක් දිනා ගනිමින් දක්ෂතා දක්වනවා.

කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙස චතුර දුශාන් ද සිල්වා මහතා සහ ඩබ්ලිව්. ඒ. බුද්ධසිරි විතානාච්චි මහතා කටයුතු කළ අතර කණ්ඩායමේ කළමනාකරු ලෙස ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ ලේකම් චන්දන ශ්‍රීනාත් විජේතුංග මහතා කටයුතු කළා. බාලිකා කණ්ඩායම් භාර නිලධාරීනි ලෙසින් සහභාගී වූයේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නිමේෂා සකුන්තලා නිලූෂානි මහත්මියයි.

තරගාවලිය සඳහා ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය, මාලදිවයින, භූතානය සහ ශ්‍රී ලංකාව යන රටවල් 6 නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 100කට අධික පිරිසක් සහභාගී වූ අතර තරගාවලිය දින 3ක් තිස්සේ පැවතියා.

තරගාවලියේ සමස්ත ශූරතාව සත්කාරක ඉන්දියාව විසින් දිනා ගත්තා. ඒ අනුව ජයග්‍රාහී ඔවුන් සමඟින් අනුශූර ශ්‍රී ලංකාව ද එළඹෙන ජූලි මාසයේ දී කටාර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත ආසියානු මේසපන්දු ශූරතාවලිය වෙනුවෙන් සහභාගී වීමට සුදුසුකම් ලබා ගත්තා.

තරගාවලියේ ශ්‍රී ලංකාව දිනා ගත් පදක්කම්

15න් පහළ බාලිකා ඒකල

  • ලෝකඩ පදක්කම – ටමාදි කවින්ද්‍යා (ශ්‍රී දේවානන්ද විද්‍යාලය – අම්බලන්ගොඩ)
  • ලෝකඩ පදක්කම – ශමල්ෂා දෙව්මි පෙරේරා (සිරි කුරුස විද්‍යාලය – ගම්පහ)

15න් පහළ බාලිකා යුගල

  • ලෝකඩ පදක්කම – ටමාදි කවින්ද්‍යා (ශ්‍රී දේවානන්ද විද්‍යාලය – අම්බලන්ගොඩ) සහ ශමල්ෂා දෙව්මි පෙරේරා (සිරි කුරුස විද්‍යාලය – ගම්පහ)

15න් පහළ බාලක ඒකල

  • ලෝකඩ පදක්කම – සෆුල්ලා අක්‍රම් (අල් හුදා ජාත්‍යන්තර පාසල – මහනුවර)
  • ලෝකඩ පදක්කම – ජනිත් බටුගෙදර (රාජකීය විද්‍යාලය – කොළඹ)

15න් පහළ බාලක යුගල

  • ලෝකඩ පදක්කම – ජනිත් බටුගෙදර (රාජකීය විද්‍යාලය – කොළඹ) සහ සෆුල්ලා අක්‍රම් (අල් හුදා ජාත්‍යන්තර පාසල – මහනුවර)

15න් පහළ මිශ්‍ර යුගල

  • රිදී පදක්කම – සෆුල්ලා අක්‍රම් (අල් හුදා ජාත්‍යන්තර පාසල – මහනුවර) සහ ටමාදි කවින්ද්‍යා (ශ්‍රී දේවානන්ද විද්‍යාලය – අම්බලන්ගොඩ)

19න් පහළ බාලිකා යුගල

  • ලෝකඩ පදක්කම – දිව්‍යා ධරණි චන්ද්‍රගුප්ත (ධර්මාශෝක විද්‍යාලය – අම්බලන්ගොඩ) සහ ලෙසන්‍යා සෙතුම්දි (ධර්මාශෝක විද්‍යාලය – අම්බලන්ගොඩ)

19න් පහළ මිශ්‍ර යුගල

  • ලෝකඩ පදක්කම – තිසුම් ගමගේ (ආනන්ද විද්‍යාලය – කොළඹ) සහ දිව්‍යා ධරණි චන්ද්‍රගුප්ත (ධර්මාශෝක විද්‍යාලය – අම්බලන්ගොඩ)

කණ්ඩායම් තරගාවලිය

15න් පහළ බාලිකා

  • රිදි පදක්කම – ටමාදි කවින්ද්‍යා (ශ්‍රී දේවානන්ද විද්‍යාලය – අම්බලන්ගොඩ), ශමල්ෂා දෙව්මි පෙරේරා (සිරි කුරු විද්‍යාලය – ගම්පහ) සහ සදින්ති ජයසිංහ (මියුසියස් විද්‍යාලය කොළඹ)

15න් පහළ බාලක

  • රිදී පදක්කම – සෆුල්ලා අක්‍රම් (අල් හුදා ජාත්‍යන්තර පාසල – මහනුවර) ජනිත් බටුගෙදර (රාජකීය විද්‍යාලය – කොළඹ) සහ හරීන් ඉන්දුනු (ධර්මාශෝක විද්‍යාලය – අම්බලන්ගොඩ)

19න් පහළ බාලිකා

  • රිදී පදක්කම – දිව්‍යා ධරණි චන්ද්‍රගුප්ත (ධර්මාශෝක විද්‍යාලය – අම්බලන්ගොඩ), ලෙසන්‍යා සෙතුම්දි (ධර්මාශෝක විද්‍යාලය – අම්බලන්ගොඩ), නදිති රෙහන්සා (විශාඛා විද්‍යාලය – කොළඹ) නවින්දි සෙනෙවිරත්න (බාලිකා විද්‍යාලය – කෑගල්ල)

19න් පහළ බාලක –

  • රිදී පදක්කම – තිසුම් ගමගේ (ආනන්ද විද්‍යාලය – කොළඹ), ගෙසඳු පීරිස් (ධර්මාශෝක විද්‍යාලය – අම්බලන්ගොඩ), විනුක ගුණවර්ධන (රාජකීය විද්‍යාලය – කොළඹ) රෙහාන් සේනානායක (ආනන්ද විද්‍යාලය – කොළඹ)

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<