මොරගස්මුල්ල සහ Pelicans 8 වැනි සතියේ ජයග්‍රාහකයින් අතරට

ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලිය 2022

214
Champions League 2022 week 8

අනුරාධපුර, ගාල්ල සහ කොළඹ දී අද (07) පැවති ශූරයින්ගේ ලීග් පාපන්දු ලීගයේ 8 වැනි සතියේ තරග 3කින් ජයග්‍රහණ වාර්තා කරන්නට මොරගස්මුල්ල සහ Pelicans ක්‍රීඩකයින් සමත් වුනා.

ඔවුන් හමුවේ Solid සහ New Star පරාජය වෙද්දී, Super Sun සහ මාතර අතර තරගය ගෝල සමව අවසන් වුනා.

Solid SC සහ Moragasmulla SC

අනුරාධපුර මහජන ක්‍රීඩා පිටියේ පැවති මේ තරගයේ දී ගෝල 1-0ක් ලෙස ප්‍රතිවාදීන් පරාජය කරන්නට මොරගස්මුල්ල ක්‍රීඩකයින් සමත් වුනා.

පළමු අර්ධය ගෝල රහිතව අවසන් වූ අතර දෙවැනි අර්ධයේ දී කෙසේ හෝ ගෝලයක් වාර්තා කරමින් තරගය ජයග්‍රහණය කිරීම කණ්ඩායම් දෙකේ අරමුණ වුනා.

එහි දී මොරගස්මුල්ල ක්‍රීඩක මහේෂ් චාමර 75 වැනි මිනිත්තුවේ දී ප්‍රතිවාදීන් අභිබවා යමින් තරගයේ ජයග්‍රාහී ගෝලය වාර්තා කරන්නට සමත් වුනා.

අවසන් ලකුණු තත්වය: Solid SC 0 – 1 Moragasmulla SC

ගෝල ලාභීන්:

  • මොරගස්මුල්ල – මහේෂ් චාමර (75’)

Super Sun SC සහ Matara City Club

ගෝල 1-1ක් ලෙස සමව අවසන් වූ මෙම තරගය පැවැත්වුණේ ගාල්ල ක්‍රීඩා පිටියේ දීයි. තරගය ආරම්භ වී දෙපිලම කරට කර සටනක නිරත වෙනු දක්නට ලැබුණු අතර මාතර නායක Addevn Issac විසින් පළමු ගෝලය වාර්තා කරමින් ලකුණු පුවරුව ක්‍රියාත්මක කරන්නට සමත් වුනා. ඒ 37 වැනි මිනිත්තුවේ දීයි.

ගෝල 1-0ක් ලෙස මාතර ක්‍රීඩකයින් පෙරමුණ ගනිමින් අවසන් වූ පළමු අර්ධයෙන් පසුව අතිරේක ක්‍රීඩකයෙකු ලෙස පිටියට පැමිණි හසිත ප්‍රියංකර විසින් 78 වැනි මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කරමින් තරගය සම මට්ටමට ගෙන ඒමට සමත් වුනා.

ඉන් අනතුරුව කණ්ඩායම දෙකම ජයග්‍රාහී ගෝලය වාර්තා කරන්නට උත්සහ දැරුවත් ඒවා සාර්ථක වුනේ නැහැ.

අවසන් ලකුණු තත්වය: Super Sun SC 1 – 1 Matara City Club

ගෝල ලාභීන්:

  • මාතර – Addevn Issac (37’)
  • Super Sun – හසිත ප්‍රියංකර (78’)

Pelicans SC සහ New Star SC

New Star ක්‍රීඩකයින් පරාජය කරමින් ගෝල 4-0ක් ලෙස මෙම තරගය ජයග්‍රහණය කරන්නට Pelicans ක්‍රීඩකයින් සමත් වුනා.

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ පළමු ගෝලය වාර්තා වුනේ 25 වැනි මිනිත්තුවේ දීයි. Teofanov Sasa විසින් වාර්තා කළ එම ගෝලයෙන් පසුව තවත් ගෝලයක් වාර්තා කරන්නට Pelicans ක්‍රීඩක Edison Figurado සමත් වුනා. ඒ 33 වැනි මිනිත්තුවේ දී.

ඉන් අනතුරුව ප්‍රථම අර්ධය නිමා වීමට මොහොතට පෙර Nafshan Mohomed විසින් ගෝලයක් වාර්තා කළේ ගෝල 3ක් දක්වා Pelicans ලකුණු පුවරුව ඉහළ දමමින්

දෙවැනි අර්ධයේ අවසානයට ලං වන තෙක් දෙපිලේම ක්‍රීඩකයින් කිසිදු ගෝලයක් වාර්තා නොකළ නමුත් 81 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ Nafshan සිය දෙවැනි ගෝලයත් වාර්තා කරමින් ගෝල 4-0ක ජයග්‍රහණයක් කරා යන්නට Pelicans කණ්ඩායමට සවිය වුනා.

අවසන් ලකුණු තත්වය: Pelicans SC 4 – 1 New Star SC

ගෝල ලාභීන්:

  • Pelicans – Teofanov Sasa (25’), Edison Figurado (33’), Nafshan Mohomed (45+1’ & 81’)

8 වැනි සතියේ තවත් තරග දෙකක් අගෝස්තු 9 වැනිදා පැවැත්වීමට නියමිතයි. එහි දී St. Mary’s සහ Saunders අතර තරගය මාලිගාපිටිය ක්‍රීඩා පිටියේ දීත්, Crystal Palace සහ Java Lane අතර තරගය සුගතදාස ක්‍රීඩාංගණයේ දීත් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

තරගාවලියේ සියලු පුවත් ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<