Crystal Palace සහ St. Mary’s ජයග්‍රාහීව ගෙදර යයි

ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලිය 2022

165
Champions League 2022 week 12

දේශීය පාපන්දු පිටියේ පෙරළිකාර පාපන්දු තරගාවලියක් වන ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලියේ 12 වැනි සතියේ තරග 4ක් අද (03) ක්‍රීඩාංගණ 4ක දී ක්‍රියාත්මක වුනා.

එහි දී Matara City හමුවේ Crystal Palace ක්‍රීඩා සමාජයත්, Negombo Youth හමුවේ St. Mary’s ක්‍රීඩා සමාජයත් ජයග්‍රහණ වාර්තා කරන්නට සමත් වුනා. ඊට අමතරව New Star සහ Saunders අතර තරගය සමව අවසන් වෙද්දී, Java Lane SC සහ Serendib SC අතර කුරුණෑගල මාලිගාපිටිය ක්‍රීඩාංගණයේ දී පැවති තරගය අවසන් වුනේ කිසිදු ගෝලයක් වාර්තා වීමකින් තොරවයි.

Crystal Palace SC සහ Matara City Club

මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ දී ගෝල 2-1ක් ලෙස ජයග්‍රහණය වාර්තා කරන්නට Crystal Palace සමත් වුනා.

ඉතාමත් තියුණු මුහුණුවරක් ගත් මේ තරගයේ පළමු අර්ධය ගෝල රහිතව අවසන් වූ අතර දෙවැනි අර්ධයේ දී ගෝල වාර්තා කරමින් පෙරමුණ ගන්නට Crystal Palace ක්‍රීඩකයින් සමත් වුනා. 51 වැනි මිනිත්තුවේ දී වාර්තා වූ එම ගෝලය සඳහා හිමිකම් කීවේ Mohamed Rifas.

ඉන් අනතුරුව මිනිත්තු 10ක් ගත වෙද්දී ප්‍රතිවාදී ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමින් තරගය දෙපිළටම විවර කර දෙන්නට මාතර ක්‍රීඩක Boadu Prince සමත් වුනා.

ඉන්පසුව කණ්ඩායම් දෙකම ජයග්‍රාහී ගෝලය වෙනුවෙන් කරට කර සටන් වැදුණු අතර 74 වැනි මිනිත්තුවේ දී ඉස්සර වූ Crystal Palace ක්‍රීඩක Basith Ahmad විසින් ගෝලයක් රැස් කරමින් තරගයේ පෙරමුණ සිය කණ්ඩායම දෙසට නතු කළා.

අවසන් ලකුණු තත්වය: Crystal Palace SC 2 – 1 Matara City Club

ගෝල ලාභීන්:

  • Crystal Palace – Mohamed Rifas (51’), Basith Ahmad (74’)
  • Matara City – Boadu Prince (61’)

St. Mary’s SC සහ Negombo Youth FC

ගෝල 2-1ක් ලෙස නිමා වූ මෙම තරගයෙන් ජයග්‍රහණය වාර්තා කළේ St. Mary’s ක්‍රීඩා සමාජයයි.

මේ තරගයේ ලකුණු පුවරුව ක්‍රියාත්මක වුනේ තරගාරම්භයෙන් මිනිත්තු 22ක් ගත වන විටයි. එම ගෝලය සඳහා හිමිකම් කීවේ St. Mary’s නායක Mariyathas Nitharsan විසිනුයි.

ඉන් අනතුරුව 31 වැනි මිනිත්තුවේ දී මීගමුව ක්‍රීඩක ක්‍රිස්ටීන් ප්‍රනාන්දු විසින් ගෝලයක් වාර්තා කරන්නට සමත් වූ අතර ඒත් සමඟ තරගය දෙපිළටම විවර වුනා.

අනතුරුව ප්‍රථම අර්ධය නිමා වීමට මිනිත්තු 4ක් පමණ තිබිය දී ක්‍රියාත්මක වූ St. Mary’s නායක Nitharsan විසින් සිය දෙවැනි ගෝලයත් වාර්තා කර දෙන්නට සමත් වුනා.

දෙවැනි අර්ධයේ දී කණ්ඩායම් දෙකම කිසිදු ගෝලයක් සාර්ථක කර ගන්නට අසමත් වූ අතර ඒ අනුව මෙම තරගය නිමා වුනේ ප්‍රබල මීගමුව ක්‍රීඩකයින් ගෝල 2-1ක් ලෙස පරාජය වෙමිනුයි.

අවසන් ලකුණු තත්වය: St. Mary’s SC 2 – 1 Negombo Youth FC

ලකුණු ලාභීන්:

  • Mary’s – Mariyathas Nitharsan (22’, 40”)
  • Negombo Youth – ක්‍රිස්ටීන් ප්‍රනාන්දු (31’)

New Star SC සහ Saunders SC

ගෝල 1-1ක් ලෙස ගාල්ලේ දී පැවති මෙම තරගය නිමා වුනේ ජය පරාජයෙන් තොරවයි.

ප්‍රථම අර්ධය පුරාවට කිසිදු ගෝලයක් වාර්තා නොවුන අතර දෙවැනි අර්ධය ආරම්භ වී සුළු මොහොතක් ගත වෙද්දී ලකුණු පුවරුවට ජීවය එකතු කරන්නට Saunders ක්‍රීඩක Sundaraj Niresh සමත් වුනා. ඒ 49 වැනි මිනිත්තුවේ දීයි.

ඉන්පසුව තරග අවසානයට ඔන්න මෙන්න තිබිය දී New Star ක්‍රීඩක Ahamed Adil විසින් ගෝලයක් වාර්තා කරමින් තරගය ජය පැරදුමෙන් තොර අවසානයක් කරා රැගෙන ගියා.

අවසන් ලකුණු තත්වය: New Star SC 1 – 1 Saunders SC

ගෝල ලාභීන්:

  • New Star – Ahamed Adil (90’)
  • Saunders – Sundaraj Niresh (49’)

ශූරයින්ගේ ලීග් 12 වැනි සතියේ තවත් තරග කිහිපයක් පහත පරිදි පැවැත්වීමට නියමිතයි.Champions League 2022 week 12

ශූරයින්ගේ ලීගයේ සියලු තරග ප්‍රතිඵල ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<