මොරගස්මුල්ල සහ Saunders 11 වැනි සතියේ ජයග්‍රාහකයින් අතරට

ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලිය 2022

152

මොරගස්මුල්ල විසින් මීගමුව පරාජය කරමින් සහ Saunders විසින් පොලිස් ක්‍රීඩකයින් පරාජය කරමින් ශූරයින්ගේ පාපන්දු ලීගයේ 11 වැනි සතිය අද (28) නිමාවට පත් වුනා.

අද දිනයේ පැවති අනෙක් තරග වූ Serendib SC සහ Crystal Palace FC අතර තරගය අවසන් වුනේ ජය-පැරදුමෙන් තොරවයි.

Negombo Youth FC සහ Moragasmulla SC

ගාල්ලේ දී පැවති මෙම තරගය අවසන් වුනේ ගෝල 2-1ක් ලෙස මොරගස්මුල්ල ක්‍රීඩකයින් ජයග්‍රහණය වාර්තා කරමින්.

දෙපිලේම ක්‍රීඩකයින් ඉතාමත් තියුණු සටනක නිරත වූ අතර ප්‍රථම අර්ධයේ අවසානය ළඟා වන තෙක් කිසිදු ක්‍රීඩකයෙකුට ගෝලයක් වාර්තා කරන්නට අවස්ථාව හිමි වුනේ නැහැ.

නමුත් 43 වැනි මිනිත්තුවේ දී මීගමුව නායක නිලුක ජනිත් විසින් සාර්ථකව ගෝලයක් වාර්තා කරන්නට සමත් වුනේ පළමු අර්ධයේ පෙරමුණ මීගමුව සතු කරමින්.

දෙවැනි අර්ධය ආරම්භ වී මිනිත්තු පහක් ගත වෙද්දී තරගය දෙපිලටම විවර කරන්නට මොරගස්මුල්ල ක්‍රීඩක ඩිලාන් මදුශංක සමත් වුනේ සාර්ථකව ගෝලයක් වාර්තා කරමිනුයි.

ඉන් අනතුරුව කණ්ඩායම් දෙකම ජයග්‍රාහී ගෝලය වාර්තා කරන්නට තියුණු සටනක නිරත වූ අතර 74 වැනි මිනිත්තුවේ දී මොරගස්මුල්ල ක්‍රීඩක නිමල් ධනංජය විසින් වාර්තා කළ ගෝලයත් සමඟින් තරගය අවසන් වුනේ ගෝල 2-1ක් ලෙස මොරගස්මුල්ල ජයග්‍රහණය වාර්තා කරමින්.

අවසන් ලකුණු තත්වය: Negombo Youth FC 1 – 2 Moragasmulla SC

ගෝල ලාභීන්:

  • Negombo Youth – නිලුක ජනිත් (43’)
  • Moragasmulla – ඩිලාන් මදුශංක (50’), නිමල් ධනංජය (74’)

Serendib SC සහ Crystal Palace FC

ගෝල 2-2ක් ලෙස සමව අවසන් වූ මෙම තරගය පැවැත්වුණේ කුරුණෑගල මාලිගාපිටිය ක්‍රීඩා පිටියේ දීයි.

තරගයේ ප්‍රථම අර්ධය ගෝල 1-0ක් ලෙස අවසන් වූ අතර වාර්තා වූ එකම ගෝලය සඳහා හිමිකම් කීවේ තරගාවලියේ වැඩිම ගෝල ලාභියා වන Serendib ක්‍රීඩක Asante Evans. ඔහු එම ගෝලය වාර්තා කළේ 41 වැනි මිනිත්තුවේ දීයි.

දෙවැනි අර්ධය ආරම්භ වී මිනිත්තු 10ක් පමණ ගත වෙද්දී ගෝල දෙකක් වාර්තා කරමින් තරගයේ පෙරමුණ දිනා ගන්නට Crystal Palace ක්‍රීඩකයින් සමත් වුනා. 52 වැනි සහ 54 වැනි මිනිත්තුවල දී වාර්තා වූ එම ගෝල සඳහා හිමිකම් කීවේ Zakeer Ahmed විසිනුයි.

ඉන් අනතුරුව Serendib ක්‍රීඩකයින් ජයග්‍රහණය සඳහා සටන් කරනු දක්නට ලැබුණු අතර 65 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ, අතිරේක ක්‍රීඩකයෙකු ලෙස පිටියට පිවිසි, Riyas Mohamed විසින් 65 වැනි මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කරමින් තරගය දෙපිලටම විවර කර දෙන්න සමත් වුනා.

ඉන් අනතුරුව කණ්ඩායම් දෙක ගෝල වාර්තා කිරීමට උත්සහ කළත් එම කිසිදු උත්සාහයක් සාර්ථක වුනේ නැහැ.

අවසන් ලකුණු තත්වය: Serendib SC 2 – 2 Crystal Palace FC

ගෝල ලාභීන්:

  • Serendib – Asante Evans (41’), Zakeer Ahmed (52’, 54’)
  • Crystal Palace – Riyas Mohamed (65’)

Saunders SC සහ Police SC

සුගතදාස ක්‍රීඩාංගණයේ දී පොලිස් ක්‍රීඩකයින් පරාජය කරමින් ගෝල 3-2ක් ලෙස ජයග්‍රහණය වාර්තා කරන්නට Saunders ක්‍රීඩකයින් සමත් වුනා.

13 වැනි මිනිත්තුවේ දී ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමින් සාර්ථක ආරම්භයක් ලබා ගන්නට පොලිස් ක්‍රීඩක දමිත පතිරණ සමත් වුනා.

නමුත් ඉන්පසුව ක්‍රියාත්මක වූ Saunders ක්‍රීඩකයින් ප්‍රථම අර්ධය සියතට ගන්නට සමත් වුනා.

එහි දී 24 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ Sundaraj Niresh විසින් පළමු Saunders ගෝලය වාර්තා කරද්දී, 41 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ Saunders නායක ඉන්දීවර උදාර ගෝලයක් වාර්තා කරමින් ලකුණු පුවරුව දෙගුණ කරන්නට සමත් වුනා.

ගෝල 2-1ක් ලෙස අවසන් වූ පළමු අර්ධයෙන් පසුව 77 වැනි මිනිත්තුවේ දී සාර්ථකව පන්දුව දැල තුලට යොමු කරමින්, පොලිස් ලකුණු පුවරුව දෙගුණ කරමින්, තරගය දෙපිලටම විවර කරන්නට මදුක සිරිවර්ධන සමත් වුනා.

නමුත් 84 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ Saunders Mid-fielder ක්‍රීඩක ඩිලාන් ද සිල්වා විසින් සිය කණ්ඩායම ගෝල 3ක් දක්වා ඉදිරියට රැගෙන ඒමට සමත් වුනා.

නියමිත කාලය අවසානයේ දී ලකුණු පුවරුව 3-2ක් ලෙස දැක්වුණේ Saunders ජයග්‍රාහකයින් බව සනාථ කරමිනුයි.

අවසන් ලකුණු තත්වය: Saunders SC 3 – 2 Police SC

ගෝල ලාභීන්:

  • Saunders – Sundaraj Niresh (24’), ඉන්දීවර උදාර (41’), ඩිලාන් ද සිල්වා (84)
  • Police – දමිත පතිරණ (13’), මදුක සිරිවර්ධන (77’)

ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලියේ 12 වැනි සතියේ තරග එළඹෙන සතියේ දී ආරම්භ වීමට නියමිතයි. තරගාවලියේ සියලුම තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<