දකුණු අප්‍රිකාවේ ඉන්දීය සංචාරය අවිනිශ්චිතයි

දකුණු අප්‍රිකාවේ ඉන්දීය සංචාරය 2020

425

දකුණු අප්‍රිකානු කණ්ඩායම මේ මස අවසානයට පෙර ඉන්දියාව සමඟ ඉන්දියාවේ දී විස්සයි විස්ස තරග තුනකට සහභාගී වීමට සැලසුම් සකස් කර තිබූ නමුත් ඉන්දියාව තුල කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය තවමත් පාලනය වී නොමැති නිසාවෙන් එම තරගාවලිය පැවැත්වීම ඉතාමත් අවිනිශ්චිත තත්වයක පවතින බව Cricbzz වෙබ් අඩවිය පවසා සිටියි.

ඊට අමතරව එළඹෙන සැප්තැම්බර් මාසයේ දී ඉන්දියාවේ පැවැත්වීමට නියමිතව තිබූ එංගලන්ත සීමිත ඕවර තරගාවලිය ද කල් දැමීමට සිදුව ඇත්තේ  ඉන්දියාව තුල කොරෝනා වසංගතය පාලනයකින් තොරව පැතිරෙමින් පවතින නිසයි.

“අපි වීඩියෝ දුරකථන ඇමතුමක් හරහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය එක්ක මේ ගැන කතා කළා. ඔවුන් නම් කිව්වේ මේ තරගාවලිය තියන්න පුළුවන් වෙයි කියලා. අපිත් ඒකට කැමති වුනා. හැබැයි මේ පවතින කොරෝනා තත්වය දිගටම පැතිරෙමින් ගියොත් තරගාවලිය පවත්වන්න බැරි වෙයි කියලත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අපිට කිව්වා” යැයි දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරි ජැක් ෆෝල් මහතා පසුගිය මැයි මාසයේ දී පැවසීය.

තවත් ක්‍රිකට් පුවත්:

ඉන්දීය ක්‍රිකට් ආයතනයේ මූල්‍යමය තත්වය සහ සලකා බලන විට දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ මූල්‍ය මට්ටමම ඉතාමත් අඩු මට්ටමක පවතින නිසාවෙන් දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයට මේ තරගාවලිය නොපැවැත්වීම විශාල පාඩුවකි. කෙසේ නමුත් බොහෝ ක්‍රිකට් විචාරකයින් මත පළ කර සිටියේ ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ප්‍රධානී සෞරව් ගංගුලි සහ දකුණු අප්‍රිකානු ක්‍රිකට් අධ්‍යක්ෂක ග්‍රැහැම් ස්මිත් ඉතාමත් සමීප මිතුරන් ලෙස කටයුතු කරන නිසා මේ තරගාවලිය කෙසේ හෝ පැවැත්වෙනු ඇති බවයි.

කෙසේ නමුත් ඉන්දියාව තුල එම තරගාවලිය පැවැත්වීමට නොහැකි වුවහොත් ඉන්දියාව වෙනත් විකල්පයක් වෙත හෝ යොමු කිරීමට දකුණු අප්‍රිකානු ක්‍රිකට් බලධාරීන් අවධානය යොමු කරනු ඇත්තේ ඔවුන්ගේ මූල්‍යමය තත්වය එතරම් හොඳ මට්ටමක නොපවතින නිසයි.

තවද කොරෝනා වසංගත තත්වය හේතුවෙන් 2021 වසර දක්වා කල් දැමුණු ඉන්දීය – එංගලන්ත ටෙස්ට් තරගාවලිය ඉන්දියාව තුල පවතින කොරෝනා තත්ත්වය දිනෙන් දින උත්සන්න වන වටපිටාවක් තුල පැවැත්වීම අවිනිශ්චිතව ඇත. ඒ නිසාවෙන් 2021 වසරේ මුල දී පැවැත්වෙන ඉන්දීය – එංගලන්ත ටෙස්ට් තරගාවලිය සඳහා සත්කාරකත්වය දැරීමට තමන් සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉන්දීය ක්‍රිකට් ආයතනය වෙත පසුගිය දා දන්වා තිබේ.

මේ වන විට ඉන්දියාව සඳහා තහවුරු වී ඇති එකම ක්‍රිකට් තරගාවලිය වන්නේ, මේ වසර අවසානයේ දී පැවැත්වෙන ඕස්ට්‍රේලියානු සංචාරය පමණි. ඒ අනුව විස්සයි විස්ස තරග තුනකින් සහ ටෙස්ට් තරග තුනකින් සමන්විත එම තරගාවලිය ඔක්තෝබර් 11 සිට ජනවාරි 17 දක්වා ක්‍රියාත්මක වීමට නියමිතය.

cricbuzz ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<