තරග දෙකක් සම වෙද්දී Pelicans සහ මාතරට ජයග්‍රහණ

ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලිය 2022

237

කුරුණෑගල, ගාල්ල, කොළඹ සහ යාපනය ප්‍රදේශවල ක්‍රීඩා පිටි 4ක දී අද (27) පැවති ශූරයින්ගේ ලීග් පාපන්දු ලීගයේ 11 වැනි සතියේ පළමු දිනයේ තරගවල දී ජයග්‍රහණ වාර්තා කරන්න Pelicans සහ මාතර ක්‍රීඩකයින් සමත් වුනා.

ඔවුන් හමුවේ පිළිවෙළින් Java Lane සහ New Star පරාජය වෙද්දී, St. Mary’s SC සහ Solid SC අතර තරගය සහ Super Sun SC සහ SLTB අතර තරගය ජය-පැරදුමෙන් තොරව අවසන් වුනා.

Pelicans SC සහ Java Lance SC

කුරුණෑගල මාලිගාපිටිය ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් ගෝල 3-1ක් ලෙස Java Lane පරාජය කරමින් ජයග්‍රහණය වාර්තා කරන්නට Pelicans ක්‍රීඩකයින් සමත් වුනා.

Java Lane නායක නවීන් ජූඩ් විසින් ලකුණු පුවරුව ක්‍රියාත්මක කරන්නට සමත් වුනේ 14 වැනි මිනිත්තුවේ දී වාර්තා කළ ගෝලයත් සමඟිනුයි.

ඊට ප්‍රතිඋත්තර බඳිමින් 20 වැනි මිනිත්තුවේ දී Pelicans ලකුණු පුවරුව ක්‍රියාත්මක කරන්නට Nafshan Mohomed සමත් වුනා. ඉන් අනතුරුව ප්‍රථම අර්ධය නිමා වීමට පෙර සිය ලකුණු පුවරුව දෙගුණ කරන්නට Pelicans ක්‍රීඩක ලහිරු සම්පත් සමත් වුනා. ඒ ඔහු විසින් 42 වැනි මිනිත්තුවේ දී වාර්තා කළ ගෝලයත් සමඟිනුයි.

ගෝල 2-1ක් ලෙස දෙවැනි අර්ධයට අවතීර්ණ වූ Pelicans ක්‍රීඩකයින් සිය ලකුණු පුවරුවට තවත් ගෝලයත් එකතු කරගන්නට සමත් වුනේ 66 වැනි මිනිත්තුවේ දීයි. එය Nafshan විසින් අද තරගයේ දී වාර්තා කළ දෙවැනි ගෝල වූ අතර ඒ අනුව මෙවර තරගාවලියේ දී ඔහු විසින් වාර්තා කළ සමස්ත ගෝල ගණන 13ක් දක්වා ඉහළ යනවා.

දෙවැනි අර්ධයේ දී Java Lane ක්‍රීඩකයින්ට කිසිදු ගෝලයක් වාර්තා කරන්නට නොහැකි වූ අතර ගෝල 3-1ක් ලෙස තරගය අවසන් වුනේ Pelicans ජයග්‍රහණය වාර්තා කරමින්.

අවසන් ලකුණු තත්වය: Pelicans SC 3 – 1 Java Lane SC

ගෝල ලාභීන්:

  • Pelicans – Nafshan Mohomed (20’, 66’), ලහිරු සම්පත් (42’)
  • Java Lane – නවීන් ජූඩ් (14’)

Matara City Club සහ New Star SC

New Star ක්‍රීඩකයින්ට අමිහිරි මතක ඉතිරි කරමින් ගෝල 2-0ක් ලෙස මේ තරගය ජයග්‍රහණය කරන්නට මාතර ක්‍රීඩකයින් සමත් වුනා.

පළමු අර්ධය ගෝල 1-0ක් ලෙස නිමා වූ අතර වාර්තා වූ එකම ගෝලය සඳහන් හිමිකම් කීවේ මාතර ක්‍රීඩක Boadu Prince. 9 වැනි මිනිත්තුවේ දී වාර්තා කළ එම ගෝලයත් සමඟින් සමස්ත තරගාවලිය පුරාවට ඔහු විසින් වාර්තා කරගෙන ඇති ගෝල ගණන 11ක්.

දෙවැනි අර්ධයේ දී ද New Star ක්‍රීඩකයින්ට ගෝලයක් සාර්ථක කර ගන්නට අවස්ථාව ලබා නොදුන් මාතර ක්‍රීඩකයින් අතරින් රෙශාන් වීරප්පුලි මාතර ලකුණු පුවරුව දෙගුණ කරන්නට සමත් වුනා. ඒ 75 වැනි මිනිත්තුවේ දීයි.

ඉන් අනතුරුව තවත් ගෝල කිසිවක් වාර්තා නොවූ අතර මාතර ක්‍රීඩකයින් ජයග්‍රහණය කරමින් තරගය අවසන් වුනේ ගෝල 2-0ක් ලෙසයි.

අවසන් ලකුණු තත්වය: Matara City Club 2 – 0 New Star SC

ගෝල ලාභීන්:

  • Matara City – Boadu Prince (9’), රෙශාන් වීරප්පුලි (75’)

Super Sun SC සහ SLTB

කණ්ඩායම් දෙකම ගෝල 2 බැගින් වාර්තා කරමින් ජය-පැරදුමෙන් තොරව අවසන් වූ මේ තරගය පැවැත්වුණේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දීයි.

තරගාරම්භයේ දී ම වැඩ පෙන්වමින් දෙවැනි සහ තෙවැනි මිනිත්තුවල දී ගෝල වාර්තා කරන්නට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල (SLTB) ක්‍රීඩකයෝ සමත් වුනා. එහි දී, Shareek Ahamedh සහ Sivaraja Krishnathan විසින් පිළිවෙළින් එම ගෝල දෙක වාර්තා කරන්නට සමත් වුනා.

එම පීඩනයත් සමඟින් තරග කළ Super Sun ක්‍රීඩකයින් ප්‍රතිවාදීන්ට තවත් ගෝල වාර්තා කරන්නට ඉඩ ලබා නොදුන් අතර ඔවුන් විසින් ප්‍රතිවාදීන් හඹා යමින් ගෝල වාර්තා කරන්නට සමත් වුනා.

20 වැනි සහ 45 වැනි මිනිත්තුවල දී වාර්තා වූ එම ගෝල සඳහා හිමිකම් කීවේ Super Sun ක්‍රීඩක හසිත ප්‍රියංකරයි.

දෙවැනි අර්ධයේ දී කිසිදු ගෝලයක් වාර්තා නොවූ අතර අවසානයේ තරගය ජය-පරාජයෙන් තොරව නිමාවට පත්වුනා.

අවසන් ලකුණු තත්වය: Super Sun SC 2 – 2 SLTB

ගෝල ලාභීන්:

  • Super Sun – හසිත ප්‍රියංකර (20’, 45’)
  • SLTB – Shareek Ahamedh (2’), Sivaraja Krishnathan (3’)

St. Mary’s SC සහ Solid SC

දිනයේ ජය-පැරදුමෙන් තොරව අවසන් වූ දෙවැනි තරගය මෙය වූ අතර ගෝල 3-3ක් ලෙස තරගය අවසන් වුනේ යාපනය දොරේඅප්පා ක්‍රීඩාංගණයේ දීයි.

7 වැනි මිනිත්තුවේ දී ම ක්‍රියාත්මක වූ St. Mary’s ක්‍රීඩක Sebamalainayagam Gnanaruban ගෝලයක් වාර්තා කළ අතර එහි උණුසුම වියැකී යන්නටත් පෙර 13 වැනි මිනිත්තුවේ දී තවත් ගෝලයක් වාර්තා කරමින් St. Mary’s ලකුණු පුවරුව ගෝල 2ක් දක්වා ඉහළ දමන්නට ඔහු සමත් වුනා.

එයට පිළිතුරු සපයමින් ක්‍රියාත්මක වූ Solid ක්‍රීඩක මදුරංග මෙන්ඩිස් සහ සමිත් මදුරංග විසින් ගෝල දෙකක් වාර්තා කරමින් ප්‍රථම අර්ධය අවසන් වන විට තරගය දෙපිලටම විවෘත කරන්නට සමත් වුනා.

දෙවැනි අර්ධයේ දී St. Mary’s නායක Mariyathas Nitharsan විසින් 50 වැනි මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කර අතර ඉන් මිනිත්තු 6ක් යන විට Solid ක්‍රීඩක සමිත් විසින් සිය දෙවැනි ගෝලය වාර්තා කරමින් ලකුණු පුවරුව සම තත්වයට රැගෙන ආවා.

ඉන් අනතුරුව කණ්ඩායම දෙකම ජයග්‍රාහී ගෝලය සඳහා පිටිය සිසාරා පන්දුව සමඟ ඔට්ටු වූ නමුත් කිසිදු ගෝලයක් වාර්තා කර ගන්නට ඔවුන් සමත් වුනේ නැහැ.

අවසන් ලකුණු තත්වය: St. Mary’s SC 3 – 3 Solid SC

ගෝල ලාභීන්:

  • Mary’s – Sebamalainayagam Gnanaruban (7’, 13’), Mariyathas Nitharsan (50’)
  • Solid SC – මදුරංග මෙන්ඩිස් (17’), සමිත් මදුරංග (20’, 56’)

11 වැනි සතියේ තවත් තරග කිහිපයක් පහත පරිදි පැවැත්වීමට නියමිතයි.

ශූරයින්ගේ ලීගයේ සියලු තරග ප්‍රතිඵල ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<