ශ්‍රී ලංකාව නැවතත් පරාජිතයන්ගේ ගොඩට

243
CAVA U-20 Men Volleyball Championship

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලය සංවිධානය කරන මධ්‍යම ආසියානු වයස අවුරුදු 20න් පහළ යොවුන් වොලිබෝල් ශූරතාවලියේ 3 වැනි තරග පරාජයත් අත්විඳීමට සත්කාරක  ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ඊයේ (10) සිදු වුනා.

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ ප්‍රතිවාදීන් වූයේ ටර්කිමස්තානයයි.

එම තරගයට පිවිසෙන විට ශ්‍රී ලංකාව තරගාවලියේ තරග 3කට සහභාගී වෙමින් ඉන් තරග ද්විත්වයක් ම පරාජය වී මාලදිවයින කණ්ඩායමට එරෙහි ව පමණක් ජයග්‍රහණයක් ලබා සිටියා. ටර්කිමස්තානය මෙම තරගයට එක් වූයේ මෙතෙක් අපරාජිත උස්බකිස්තානයට පමණක් දෙවැනි වෙමින් තරග ද්විත්වයක් ජයග්‍රහණය කරමිනුයි.

දෙරට අතර පැවැති තරගයේ පළමු වටයේ දී ප්‍රතිවාදීන්ට තියුණු තරගයක් ලබා දීමට සත්කාරක ක්‍රීඩකයෝ සමත් වූවා. කෙසේ වෙතත් එම වටය නිමා වෙන්නේ 25-22ක් ලෙසින් ප්‍රතිවාදීන්ට ජයග්‍රහණය ලබා දෙමින්. දෙවැනි වටයේ දී මද පසු බෑමකට ලක් වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ නැවත එම වටයට 25-18ක් ලෙසින් පරාජයට පත් වෙනවා.

අනතුරු ව පැවැති තෙවැනි වටයේ දී ආක්‍රමණශීලි සහ ප්‍රහාරත්මක තරගයකට අවතීර්ණ වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එම වටය ලකුණු 25-22ක් ලෙසින් ජයග්‍රහණය කරනවා. ඒ අනුව තරගය තවත් වටයක් කරා ගිය අතර එම වටයෙන් තරගය අවසන් කිරීමට ප්‍රතිවාදීන් සමත් වෙන්නේ ලකුණු 25-16ක් ලෙසින ජයග්‍රහණය කරමින් තරගයේ 3-1ක ක පරාජයක් සත්කාරක ක්‍රීඩකයන්ට හිමිකර දෙමින්.

මේ අතර ඊයේ තරගාවලිය ආරම්භ වූයේ උස්බකිස්තානය සහ මාලදිවයින අතර තරගයෙනුයි. එම තරගයෙන් 25-12ක්, 25-10ක් සහ 25-16ක් ලෙසින් තරග වට 3-0ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට උස්බකිස්තාන කණ්ඩායමට හැකි වෙනවා. මේ අනුව මෙම තරගාවලියේ මෙතෙක් සහභාගී වූ සියලුම තරග ජයග්‍රහණය කිරීමට උස්බකිස්තාන කණ්ඩායමට හැකි වී තිබෙනවා.

අනතුරු ව ශ්‍රී ලංකාව සහ ටර්කිමස්තානය අතර තරගය පැවැති අතර එම තරගයෙන් පසුව පැවැතියේ නේපාලය සහ කිරිකිස්තානය අතර තරගයයි. එම තරගයේ දී දෙපිලේ ම ක්‍රීඩකයෝ කරට කර සටනක නියැලුණු අතර එහි අවසානය දැක් වුණේ තරග වට 3-2ක ජයග්‍රහණයක් කිරිකිස්තානය කණ්ඩායමට ලබා දෙමින්.

එම තරගයේ දී 1 වැනි වටයේ දී  25-23ක් සහ 25-21ක් ලෙසින් කිරිකිස්තානය ඉදිරියට පැමිණි අතර අනෙක් වට ද්විත්වයේ දී 25-21ක් සහ 25-22ක් ලෙසින් නේපාල කණ්ඩායම ඉදිරියට පැමිණියා. ජයග්‍රහණය දෙපිලට ම දෝලනය වූ අවසන් වටයේ දී 19-17ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට කිරිකිස්තානය සමත් වෙමින් තරගය අවසන් කළා.

තරගාවලියේ සියලු තරග නොමිලේ නැරඹීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය කටයුතු කර තිබේ.

මධ්‍යම ආසියානු වයස අවුරුදු 20න් පහළ යොවුන් වොලිබෝල් ශූරතාවලිය සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<