දිමුත් ICC සම්මානයකට නිර්දේශ වෙයි

1564

2021 වසරේ ICC හොඳම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සඳහා නාමයෝජනා හතරක් අද ICC විසින් නිකුත් කර තිබුණා.

එම ක්‍රීඩකයින් සිව්දෙනා අතරට ශ්‍රී ලංකා ටෙස්ට් නායක ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ද ඇතුළත්ව සිටීම විශේෂත්වයක්. එංගලන්ත නායක Joe Root, ඉන්දීය සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක R Ashwin හා නැගී එන නවසීලන්ත වේගපන්දු යවන ක්‍රීඩක Kyle Jamieson එම ලැයිස්තුවේ ඉතිරි හිඩැස් පුරවනවා.

දිමුත් කරුණාරත්න වත්මන් ටෙස්ට් ක්‍රිකට් පිටියේ හොඳම ආරම්භක පිතිකරුවා ලෙස හැඳින්විය හැකි. Johannesburg පිටියේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව රැස් කළ ශතකය, බංග්ලාදේශයට එරෙහිව පල්ලෙකැලේ දී රැස් කළ ශතක දෙක මෙන්ම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව රැස් කළ ශතකයෙනුත් දිමුත්ගේ 2021 වර්ණවත් වුනා.

2021 වසරේ දිමුත්ගේ හොඳම ඉනිම ලෙස Wanderers පිටියේ දී රැස් කළ ශතකය හැඳින්විය හැකි අතර වේගපන්දු යවන්නන්ට සහය දුන් තණතිල්ලක Anrich Nortje හා Lungi Ngidi වැනි වේගපන්දු යවන්නන් ඉදිරියේ දිමුත් පන්දු 128කින් ලකුණු 103ක් රැස් කරන්නට සමත් වුනා.

මෙම සම්මානය සඳහා නිර්දේශිත එංගලන්තයේ Joe Root තරග 15ක දී ශතක 6ක් සමඟින් රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 1708ක්. ඉතිහාසය පුරාවට වසරක දී ටෙස්ට් ලකුණු 1700යේ සීමාව ඉක්මවා ගිය ලොව 3 වැනි ක්‍රීඩකයා වන්නට Joe Rootට මේ වසරේ දී හැකියාව ලැබුණා.  ඔහුට පෙර එම දක්ෂතාව දක්වන්නට සමත් වී තිබුණේ Mohammad Yousuf හා ශ්‍රීමත් Vivian Richards පමණයි.

ඉන්දියාවේ Ravichandran Ashwin ද මෙම සම්මානය සඳහා යෝජිත අයෙක්. තරග 8ක දී 16.23ක සාමාන්‍ය රඳවා ගනිමින් කඩුලු 52ක් දවාගෙන ඇති ඔහු පිතිකරණයෙන් 28.08ක් සාමාන්‍ය රඳවා ගනිමින් රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 337ක්.

තරග 5ක දී 17.51ක සාමාන්‍යයක් රඳවා ගනිමින් කඩුලු 27ක් සහ පිත්තෙන් 17.50ක සාමාන්‍යයක් රඳවා ගනිමින් ලකුණු 105ක් රැස්කරගෙන සිටින නවසීලන්තයේ Kyle Jamieson මෙම සම්මානය සඳහා යෝජිත අවසන් ක්‍රීඩකයා වනවා.

ICC ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ අවසන් මහා තරගයේ දී ඉහළ දස්කම් දැක්වූ Jamieson එම තරගයේ වීරයා සම්මානය ද දිනා ගත්තා. ඔහු එම තරගයේ දී කඩුලු හතක් දවා ගත් අතර ලකුණු 21ක් ද පිත්තෙන් රැස්කර ගත්තා.

මේ අතර ICC වසරේ හොඳම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය හිමිවන්නේ කාටද යන තීරණය 2022 ජනවාරි මාසයේ දී නිවේදනය කිරීමට නියමිතව තිබෙනවා. වසරේ ICC කණ්ඩායම් ජනවාරි 17 හා 18 වැනිදා නිවේදනය කරන අතර පිරිමි අංශයේ සම්මාන දිනා ගත් ජයග්‍රාහකයින් ජනවාරි 24 වැනිදා නිවේදනය කිරීමට නියමිතයි.

මෙලෙස නිවේදනය කෙරෙන ජයග්‍රාහකයින් අතර වසරේ හොඳම ක්‍රිකට් ක්‍රීඩකයාට පිදෙන ශ්‍රීමත් Garfield Sobers සම්මානය, වසරේ ක්‍රීඩිකාවට පිදෙන Rachael Heyhoe Flint සම්මානය, ICC වසරේ ටෙස්ට් ක්‍රීඩකයා, ICC වසරේ එක්දින ක්‍රීඩකයා, ICC වසරේ විස්සයි විස්ස ක්‍රීඩකයා, ICC වසරේ එක්දින ටෙස්ට් ක්‍රීඩිකාව, ICC වසරේ විස්සයි විස්ස ක්‍රීඩිකාව යන සම්මාන බෙදී යනවා. මේ සම්මාන සඳහා එක් කාණ්ඩයකට නාමයෝජනා 4 බැගින් නිවේදනය කිරීමට නියමිතයි.

ICC වෙබ් අඩවිය ඇසුරෙන්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<