“නායකයෙක්” වෙන්න ඉංග්‍රීසි ඕනෙම ද?

367

හිටපු පාකිස්තාන වේගපන්දු යවන්නකු වන Shoaib Akhtar විසින් වත්මන් පාකිස්තාන නායක Babar Azamගේ ඉංග්‍රීසි කතා කිරීමේ දුර්වලතාව නැවත වරක් විවේචනයට බඳුන් කර තිබෙනවා.

පසුගිය සති කිහිපය පුරාම වත්මන් පාකිස්තාන නායකයා පිළිබඳ විවේචනාත්මක අදහස් පළ කරමින් පාකිස්තාන ක්‍රිකට් වල පුවත් මැවීමට සමත් වූ Shoaib Akhtar විසින් මෙවර තමන් ඇවිළවූ ගින්නට ම ව්‍යංගාර්ථයෙන් පිදුරු දමා ඇති බවයි පාකිස්තානයෙන් වාර්තා වන්නේ.

මීට පෙර Akhtar විසින් පාකිස්තාන නායක Babar Azamගේ සන්නිවේදන කුසලතා විවේචනය කරමින් පවසා තිබුණේ, ඔහුගේ ඉංග්‍රීසි භාෂාව කතා කිරීමේ දුර්වලතාව නිසා පාකිස්තානයේ “බ්‍රෑන්ඩ්” එකක් බවට පත් වීමට Babarට නොහැකිව ඇති බවයි.

නමුත් එම ප්‍රකාශයට එකඟ නොවූ බොහෝ ක්‍රිකට් ප්‍රේක්ෂකයින් මෙන්ම හිටපු ක්‍රීඩකයින් ද ප්‍රකාශ කළේ, වඩාත් වැදගත් වන්නේ Babarගේ ක්‍රිකට් දක්ෂතා මිස ඔහුගේ සන්නිවේදන කුසලතා නොවන බවයි.

නමුත් පසුගිය දිනක පාකිස්තාන රූපවාහිනී නාලිකාවක් සමඟ පැවැත්වූ සාකච්ඡාවක් තුල දී Akhtar විසින් පාකිස්තාන කඩුලු රකින්නකු වන Azam Khan පිළිබඳ සඳහන් කරන අතරතුර නැවතත් Babar පිළිබඳ මාතෘකාවට ප්‍රවිෂ්ට වෙමින් සිදු කළ ප්‍රකාශයක් නිසා ඔහුගේ මතය කිසිම ලෙසකින් වෙනස් වී නොමැති බව නම් තහවුරු වුනා.

මෙවර PSL තරගාවලියේ Islamabad United නියෝජනය කරන Azam Khan විසින් සිය කණ්ඩායම වෙනුවෙන් නොකඩවා ඉහළ දක්ෂතා ප්‍රදර්ශනය කරමින් සිටින අතර, ඔහු තරගාවලියේ එක් තරගයක දී Karachi Kings කණ්ඩායමට එරෙහිව පන්දු 41කින් ලකුණු 72ක් රැස් කළේ සිය කණ්ඩායමට ජයග්‍රහණය වෙත කැඳවා ගෙන යමිනුයි.

එම තරගයෙන් පසුව Akhtar විසින් මෙම රූපවාහිනී වැඩසටහනට සහභාගී වූ අතර එහි දී ඔහු Azam Khan පිළිබඳ සිය අදහස මෙසේ ප්‍රකාශ කළා.

“මම Azam Khanව දකින්නේ ඉනිමක් ගොඩ නගන්න පුළුවන් ක්‍රීඩකයකු විදිහට. ඒ වගේම ඔහු මාධ්‍ය සාකච්ඡාවල දී හොඳට කතා කරනවා. ඔහු සිය දක්ෂතා ගැන කතා කරනවා දකින එකෙන් මට සතුටක් දැනෙනවා.

අවුරුදු 20කට පෙර මම ක්‍රීඩා කරද්දී, මම කතා කරන්න ඕන කොහොමද කියන දේ ගැන වැඩිය හිතුවේ නැහැ. නමුත් ඔබේ කාලයේ දී මාධ්‍ය කියන්නේ ඔබේ රැකියාවේම කොටසක්. මට පුළුවන් ඔබට හරිම විදිහ පෙන්වලා දෙන්න විතරයි.’ මේකයි ගැටලුව, ගිහින් ඒක හදා ගන්න. ඒ ඔබේම හොඳටයි.’ ඔහු (Azam Khan) කතා කරපු විදියෙන් නායකත්වයට පවා සුදුසු කෙනෙක් බව පෙනුණා.”

පසුව ඔහුගේ කතාව තරමක් Azam Khan වෙතින් ඉවතට හැරුණු බව පෙනී ගියේ ඔහුගේ කතාව තුලටICC වසරේ ක්‍රීඩකයා” යන පාඨය ද ඇතුළත් වීම සමඟයි. නමුත් ICC වසරේ ක්‍රීඩකයා සම්මානය Azam Khanට කිසිසේත්ම අදාළ එකක් වුනේ නැහැ.

“එදා Wasim Akram, Waqar Younis, Shahid Afridi, Abdul Razzaq වැනි ක්‍රීඩකයින් ක්‍රීඩා කළේ ‘ මුළු ක්‍රීඩාංගණයම සහ ප්‍රේක්ෂකයින් මගේ. මමයි මේ ස්ථානයේ වාතාවරණය පාලනය කරන කෙනා.” කියන මානසිකත්වයෙන්.

Azam විසිනුත් ඒ දේම කරනවා. ඒ විදිහටයි ඔබ තරුවක් වෙන්නේ. ඒක ICC වසරේ ක්‍රීඩකයා වීම විතරක් ම නෙවෙයි.

Azam ඒ දේවල් කරද්දී ප්‍රේක්ෂකයින් ඔහුට සහය පළ කරා. ඔහු ඔවුන්ගේ භාරකාරීත්වය ලබා ගත්තා. ඔහු ‘මමයි මෙතන දර්ශනය පෙන්වන කෙනා’ වගේ හිටියා.”

පාකිස්තාන නායක Babar Azam විසින් 2022 වසරට අදාළව ICC වසරේ ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය පසුගිය දා දිනා ගැනීමට සමත් වූ අතර, Akhtarගේ මෙම ප්‍රකාශය තුලින් Azam Khanව ඔසවා තැබීමටත් වඩා Babar Azam පිළිබඳ තමන් පෙර පැවසූ අදහස් සපථ කිරීමේ උත්සාහයක් පෙනී යන බවයි බොහෝ දෙනෙකුගේ අදහස වන්නේ.

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<