චමරි පාකිස්තානයේ දී ජයග්‍රාහී ආරම්භයක් ලබයි!

Women's League Exhibition 2023

4277
Women's League Exhibition 2023

පාකිස්තාන සුපර් ලීගයට (PSL) සමගාමීව පාකිස්තානයේ දී ම පැවැත්වෙන Women’s League Exhibition තරගාවලියේ පළමු තරගය අද (08) පැවැත්වුනා.

Amazon සහ Super Women කණ්ඩායම් ද්විත්ව අතර තරග තුනකින් සමන්විත තරගාවලියක් ලෙස මෙම තරගාවලිය පැවැත්වෙන අතර, එහි දී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු Super Women නියෝජනය කරමින් මෙම තරගාවලියට සහභාගී වනවා.

ඒ අනුව අද දිනයේ පැවැත්වුණු පළමු විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය දිනා ගත් Amazon කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 9ක් දැවී රැස් කර ගැනීමට සමත් වුනේ ලකුණු 132ක් පමණයි.

එහි දී Amazon ඉනිමේ වැඩිම ලකුණු ලාභියා ලෙස Aliya Riaz විසින් ලකුණු 38ක් රැස් කළ අතර, Super Women වෙනුවෙන් කණ්ඩායම් නායිකා Nida Dar විසින් ලකුණු 25කට කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වුනා.

ඒ අනුව ලකුණු 133ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමේ අරමුණ සහිතව Super Women ආරම්භක පිතිකාරිනියන් ලෙස චමරි අතපත්තු සහ Muneeba Ali පිටියට පිවිසුණු අතර, චමරි විසින් Super Women කණ්ඩායමට අවැසි ව තිබූ වේගවත් ආරම්භය කණ්ඩායමට ලබා දීමට සමත් වුනා.

පන්දු 13කට පමණක් මුහුණ දුන් අතපත්තු එහි දී ලකුණු 23ක් වාර්තා කිරීමට සමත් වූ අතර ඇය ඒ වෙනුවෙන් හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් එක් කර ගැනීමට සමත් වුනා.

අවාසනාවන්ත ලෙස දැවී ගිය චමරිගේ කඩුල්ලෙන් පසු පිටියට පිවිසි දකුණු අප්‍රිකානු ක්‍රීඩිකා Laura Wolvaardt විසින් Super Women කණ්ඩායම පහසු ජයග්‍රහණයක් කරා කැඳවා ගෙන යාමට සමත් වූ අතර පන්දු වාර 15 පන්දු 5 කදී කඩුලු දෙකක් පමණක් දැවී Super Women කණ්ඩායම ජයග්‍රාහී ඉලක්කය පසු කර යෑමට සමත් වුනා.

මෙහි දී Wolvaardt විසින් පන්දු 36ක් පමණක් වැය කර ලකුණු 53ක් ලබා ගැනීමට සමත් වුනා.

තරගයේ වීරවරිය ලෙස සම්මාන හිමි කර ගත්තේ Super Women නායිකා Nida Dar විසිනුයි. තරගාවලියේ මීළඟ තරගය ලබන සිකුරාදා (10) දින පැවැත්වීමට නියමිතයි.

Women’s League Exhibition තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<