ඉන්දියාව ඕස්ට්‍රේලියාවට මොන වගේ තණතීරුවක් නිර්මාණය කරයි ද?

Border - Gavaskar Trophy 2023

242
GCA reveals how will be ahmedabad pitch

Border – Gavaskar ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ආරම්භ වීමට තවත් දින තුනක් ඉතිරිව ඇති අතර, ඒ සඳහා භාවිතා කිරීමට නියමිත අහ්මදාබාද් තණතීරුව කෙසේ වෙද යන්න පිළිබඳ ගුජරාට් ක්‍රිකට් සංගමය (GCA) විසින් හෙළිදරව් කර තිබෙනවා.

තරගාවලියේ තෙවැනි තරගයට භාවිත කළ Indore තණතීරුව පිළිබඳ ඇති වූ කතාබහ තවමත් දිග් ගැස්සෙමින් පවතින අතර පසුගිය දා ICC විසින් එය “දුර්වල” මට්ටමේ තණතීරුවක් බවට තීරණය කරමින් දඬුවම් ලකුණු තුනක් ද ලබා දුන්නා. මේ තීරණයට පක්ෂව සහ විපක්ෂව ද දෙපාර්ශවයක් අතර යම් මතවාද ඇති වී තිබෙනවා.

එමෙන්ම තෙවැනි ටෙස්ට් තරගය වෙනුවෙන් Indore ක්‍රීඩාංගණය තුල සැසි හතක් පමණක් පැවැත්වුණු අතර, ඒ තුල දී කණ්ඩායම් දෙකේම කඩුලු 31ක් බිඳ වැටුණා. එපමණක් ද නොව පළමු දිනය තුල ක්‍රීඩාංගණයේ පන්දුව දඟ කැවීමේ සාමාන්‍ය අගය අංශක 4.8ක පමණ ඉහළ අගයක රැඳුණා.

එම තරගයේ තරග තීරක ලෙස කටයුතු කළ Chris Board විසින් තරගයෙන් අනතුරුව සඳහන් කළේ පිත්ත සහ පන්දුව අතර කිසිදු සමබරතාවක් නොමැතිව පළමු දිනයේ පටන් ම දඟපන්දු යවන්නන්ට වාසිදායක ලෙස පිටිය හැසිරුණු බවයි.

මේ වන විට ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතා අවසන් මහා තරගයට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සුදුසුකම් ලබා ඇති අතර, එළඹෙන ටෙස්ට් තරගය ජයග්‍රහණය කිරීමට හැකි වුවහොත් ඉන්දීය කණ්ඩායමට ද අවසන් මහා තරගයේ ඉඩ වෙන් කර ගැනීමේ හැකියාව පවතිනවා.

එමෙන්ම මෙවර ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ තමන් ක්‍රීඩා කළ එකදු ටෙස්ට් තරගාවලියක් හෝ පරාජය වී නොමැති ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඉදිරි තරගය පරාජය වුවහොත් ලබා ගැනීමට ඇති ඉහළතම ගෞරවනීය අවසානයක් මග හැරී යනවා.

මෙවන් වටපිටාවක් තුලයි මෙම තරගය පැවැත්වීමට නියමිත අහ්මදාබාද් තණතීරුව පිළිබඳ GCA විසින් මෙම හෙළිදරව් කිරීම සිදු කරන්නේ.

මෙහි දී පෙර තරගය පිළිබඳ ඇති අමිහිරි අත්දැකීම් ද සලකා බලමින් GCA විසින් මීළඟ තරගය වෙනුවෙන් සාමාන්‍ය මට්ටමේ තණතීරුවක් නිර්මාණය කරනු ඇති බවට ඉඟි පළ කරනවා.

“අපිට ඉන්දීය කණ්ඩායම් කළමනාකාරිත්වයෙන් කිසිම උපදෙසක් ලැබුණේ නැහැ. අපි දිගටම කළා වගේ සාමාන්‍ය මට්ටමේ තණතීරුවක් සූදානම් කරනවා.

අවසන් වරට පැවැත්වුණු රංජි කුසලාන තරගයේ දී Railway කණ්ඩායම ඔවුන්ගේ පළමු ඉනිමට ලකුණු 508ක් රැස් කළා. නමුත් ඒ තරගයෙන් ඉනිමක පරාජය ලබපු ගුජරාට් කණ්ඩායම ඉනිම් දෙකේ දී ම රැස් කළේ ලකුණු 200 ගණන් විතරයි. මේ වතාවේ ලොකු වෙනසක් වෙන එකක් නැහැ.

ඇත්තටම පසුගිය දවස්වල BCCI එකේ ක්‍රීඩාංගණ භාර කමිටුව විසින් දේශීය ක්‍රීඩාංගණ භාරකරුවන්ට උපදෙස් වගයක් ලබා දීලා තිබුණා. නමුත් අපේ පැත්තෙන් අපි බලන්නේ හොඳ ටෙස්ට් තණතීරුවක් ලබා දෙන්නයි.”

ඉන්දීය පුවත් සේවයක් (PTI) වෙනුවෙන් අදහස් දක්වා සිටි GCA නියෝජිතයකු විසින් මේ බව පවසා තිබුණා.

මීට පෙර 2021 වසරේ දී අහ්මදාබාද් ක්‍රීඩාංගණයේ දී එංගලන්තය සමඟ ටෙස්ට් තරගය දෙකක් පැවැත්වුණු අතර තරග දෙකම දින දෙකක පමණ කාලයක් තුල අවසන් වුනේ ඉන්දියාවට පහසු ජයග්‍රහණය ද්විත්වයක් අත් කර දෙමිනුයි.

Border – Gavaskar ක්‍රිකට් තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<