හේරත් බංග්ලාදේශයෙන් ලද යෝජනාව ප්‍රතික්ෂේප කරයි!

Bangladesh Cricket Contract

982
Rangana herath declines contract

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත් විසින් බංග්ලාදේශය ක්‍රිකට් සමඟ නැවත එක්වීමට ලද යෝජනාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. 

මීට පෙර බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ දඟපන්දු පුහුණුකරු ලෙස වගකීම් දැරූ හේරත්ගේ නිල ධුර කාලය පසුගිය වසරේ දී අවසන් වුනා. ඉන් පසුව පසුගිය ජනවාරි මාසයේ දී හේරත් හට බංග්ලාදේශය ක්‍රිකට් සමඟ නැවත එක්වීම සඳහා BCB වෙතින් ඇරයුම් ලැබුණා. 

නමුත් මෙවර හේරත්ට ලැබුණේ කණ්ඩායමේ දඟපන්දු පුහුණුකරු වගකීම නොවන අතර, මෙවර ඔහුට දඟපන්දු උපදේශක තනතුරක් පිරිනැමීමටයි BCB විසින් බලාපොරොත්තු වුනේ. 

මෙමඟින් වසරකට දින 200ක පමණ කාලයක් බංග්ලාදේශය පුරා සැරිසරමින් විවිධ වයස් කාණ්ඩවල ක්‍රීඩකයින් ව හඳුනා ගනිමින් ඔවුන්ට අවශ්‍ය මග පෙන්වීම ලබා දීමේ වගකීම හේරත් හට පැවරීමටයි ඔවුන් බලාපොරොත්තු වුනේ. 

එමෙන්ම මීට පෙර හේරත් විසින් තමන් ලද මෙම යෝජනාව පිළිබඳ සිය උනන්දුව පළ කර තිබූ අතර, තම නීතිඥයින් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව එයට ඉතා ඉක්මන් ප්‍රතිචාරයක් ලබා දීමට තමා සූදානම් බවත් අවධාරණය කර තිබුණා. 

කෙසේ වෙතත් ඊයේ (03) දිනයේ දී බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සඳහන් කළේ හේරත් විසින් මෙම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති බවයි. 

” හේරත් අප සමඟ නැහැ, අපි ඔහුට කළ යෝජනාව ඔහු පිළිගත්තේ නැහැ. ඒ නිසා ඔහු තවදුරටත් අප සමඟ නැහැ.” 

බංග්ලාදේශ ක්‍රිකට් මෙහෙයුම් සභාපති Jalal Yunus විසින් අද දිනයේ පැවැත්වුණු කමිටු රැස්වීමකින් අනතුරුව මාධ්‍ය අමතමින් මේ බව සඳහන් කළා. 

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම් කළමනාකාරිත්වයේ බොහෝ වගකීම්වල නිල කාලය පසුගිය වසරෙන් අවසන් වූ අතර මේ වන විට BCB විසින් එම හිස් තැන් නැවත පුරවා ගැනීම වෙනුවෙන් කටයුතු සිදු කරමින් සිටිනවා. 

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<