ජූඩෝ ශූර චාමර දෙවැනි වරටත් ඔලිම්පික් යයි

379

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා මෙරටින් නිල වශයෙන් තේරී පත්වූ පස්වැනි ක්‍රීඩකයා බවට පත්වෙමින් මෙවර ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ගැනීමට ජූඩෝ ක්‍රීඩක චාමර නුවන් ධර්මවර්ධන සමත්ව තිබෙනවා.

ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව විසින් අද (25) මෙය නිල වශයෙන් නිවේදනය කළ අතර නිලූක කරුණාරත්න, ටෙහානි එගොඩවෙල, මැතිල්ඩා කාර්ල්සන් සහ මිල්කා ගිහානිට පසු මෙවර ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලැබූ පස්වැනි ක්‍රීඩකයා වීමට චාමරට හැකිව තිබෙනවා.

චාමර ඔලිම්පික් උළෙලකට සුදුසුකම් ලැබූ දෙවැනි අවස්ථාව මෙය වන අතර ඔහු අවසාන වශයෙන් පැවති 2016 රියෝ ඔලිම්පික් උළෙල සඳහා කිලෝග්‍රෑම් 73 බර පන්තියෙන් තේරී පත්වුනේ අවුරුදු 120ක ඉතිහාසය තුළ එම ඉසව්වෙන් ඔලිම්පික් වරම් ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස ඉතිහාස ගත වෙමින්.

එමෙන්ම එම ඔලිම්පික් උළෙලේ දී ලොව ප්‍රකට ක්‍රීඩකයන් සමඟින් තරග වදිමින් අවසන් 16 දෙනා අතර පිවිසීමට ද චාමරට හැකි වුනා.

තවත් ක්‍රීඩා පුවත්: 

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සාමාජිකයෙකු ද වන චාමර ගුවන් හමුදා ජූඩෝ කණ්ඩායම නියෝජනය කරමින් දේශීය පිටියේ ඉහළ දස්කම් දැක්වීමට සමත් වූ අතර 2016 වසරේ පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ රිදී පදක්කමක් දිනා ගැනීමට ද ඔහුට හැකි වුනා.

එමෙන්ම නිමා වූ 2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ජූඩෝ ඉසව්වෙහි රන් පදක්කමක් දිනා ගනිමින් දකුණු ආසියානු ශූරයා වීමට ද සමත් වූ චාමර 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල ඉලක්ක කරගනිමින් Slovakia හිදී විශේෂ පුහුණුවකට ද සහභාගී වුනා.

දකුණු ආසියානු පිටියට අමතරව යුරෝපා ජූඩෝ පිටියේ ද කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූ චාමර නුවන් 2018 වසරේ පැවති European Judo Championship තරගාවලියේ දී රන් පදක්කමක් දිනා ගැනීමට ද සමත් වුනා.

මේ වන විට 28 වැනි වියේ පසුවන චාමර නුවන් මෙරටට ඔලිම්පික් පදක්කමක් ගෙන ඒමට හැකි දක්ෂ ක්‍රීඩකයෙකි. ඔලිම්පික් උළෙලේ දී ඉහළ දස්කම් දක්වමින් මෙරටට ජයග්‍රහණයක් ගෙන ඒමට චාමරට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායි ThePapare.com අප සුබ පතන්නෙමු.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<