ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ශූරයාට තෙවැනි වරටත් ඔලිම්පික් වරම්!

267

2021 ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ගත් සිව්වැනි ශ්‍රී ලාංකිකයා බවට පත්වන්නට බැඩ්මින්ටන් ඉසව්වේ ජාතික ශූර නිලූක කරුණාරත්න සමත්ව තිබෙනවා.

ඒ අනුව නිලූකට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තෙවැනි වරටත් ඔලිම්පික් උළෙලක් සඳහා සහභාගී වීමේ අවස්ථාව හිමි වන අතර මීට පෙර ඔහු 2012 සහ 2016 වසරවල දී ද ඔලිම්පික් නියෝජනය කරන්නට අවස්ථාව හිමි වුනා. 

2012 වසරේ පැවති ලංඩන් ඔලිම්පික් උළෙල නියෝජනය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරුවේ ද නිලූක කරුණාරත්න විසිනි. එම උළෙලේ දී ඔහු විසින් ලෝක බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීම්වල අටවැනි ස්ථානයේ පසු වූ ක්‍රීඩකයා පරාජය කිරීමට සමත් වීම ද විශේෂත්වයක්.

ජාතික බැඩ්මින්ටන් පිටියේ බිහි වූ රජු ලෙස සැලකෙන නිලූක කරුණාරත්න ජනවාරි මාසයේ දී කොරෝනා වයිරසය ආසාදනය වීම නිසා මාස 04ක පමණ කාලයක් ක්‍රීඩා පිටියෙන් ඉවත්ව සිටීමට සිදු වුනා.

තවත් ක්‍රීඩා පුවත්

එම නිසාවෙන් ඔහුගේ ඔලිම්පික් සැලසුම් නැවත සකස් කිරීමට ඔහුට සිදු වූ අතර ඔහු අවසාන වරට තරගාවලියක් සඳහා සහභාගී වූයේ පසුගිය මාසයේ පැවති 56th Portuguese International Championship තරගාවලිය සඳහායි. 

එහි දී දැක්වූ දස්කම් මත නිලූක, ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමේ ක්‍රීඩක වර්ගීකරණයේ 41 වැනි ස්ථානයේ සිට 39 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකක් ඉදිරියට පැමිණීමට සමත්ව තිබුණා. 

මේ වන විට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 2021 ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ගැනීමට Mathilda Karlsson, මිල්කා ගෙහානි සහ ටෙහානි එගොඩවෙල සමත් ව සිටින අතර ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ගත් පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන්නේ නිලූකයි. 

සිය තෙවැනි ඔලිම්පික් තරගාවලිය වන ටොකියෝ ඔලිම්පික් උළෙලේ දී උපරිම දස්කම් දක්වමින් ලක්මාතාව ඔලිම්පික් පදක්කමකින් සැරසවීමට නිලූකට අවශ්‍ය ශක්තිය, ධෛර්යය ලැබේවා’යි ThePapare.com අප ප්‍රාර්ථනා කරන්නෙමු. 

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<