දේශීය අංගම්පොර සටන් තහනම ඉවතට

304

දේශීය අංගම්පොර සටන් කලාව සඳහා යටත්විජිත යුගයේ පටන් පනවා තිබෙන තහනම ඉවත්කොට එය ජාතික ක්‍රීඩාවක් ලෙස දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රචලිත කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියා.

මෙරට සාම්ප්‍රදායික සටන් කලාවක් වන අංගම්පොර සටන් කලාව 1918 වසරේ ඔක්තෝබර් මාසයේ දී එනම් යටත් විජිත පාලන සමයේ තහනම් කිරීමට කටයුතු කළත්, එතැන් සිට මේ දක්වා වසර 202කට අධික කාලයක් හොර රහසේ අංගම්පොර සටන් ශිල්පය රැකගනිමින් පාරම්පරිකව ඉදිරියට ගෙන ඒමට සුළු පිරිසක් විසින් කටයුතු කළා.

ඉතා වැදගත් දේශීය සටන් ශිල්පයක් වන මෙම අංගම්පොර සටන් ශිල්පයට පනවා ඇති තහනම ඉවත් කිරීම පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ පසුගිය දා කොරතොට පිහිටි අංගම් සටන් පාසල නැරඹීමට එක්වූ අවස්ථාවේ දීයි.

එම අවස්ථාවේ දී අදහස් දැක්වූ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ පළමුවෙන් මෙම දේශීය සටන් කලාවක් වන අංගම්පොර සටන් කලාවට ඇති තහනම ගැසට් පත්‍රයක් මගින් අවලංගු කිරීමට කටයුතු කරන බවයි.

මෙම අංගම්පොර සටන් ශාස්ත්‍රය හදාරන අය තුළ අනෙක් ක්‍රීඩාවල නියැලෙන ක්‍රීඩකයන්ට එහා ගිය දරාගැනීමේ ශක්තියක් තිබෙන බව පෙනෙනවා. 

“අනෙකුත් ක්‍රීඩාවල නියැලෙන ක්‍රීඩකයින්ටත් මෙහි ඇති දැනුම හුවමාරු කරගෙන තම තමන්ගේ දරාගැනීමේ ශක්තිය වැඩි දියුණු කරගන්න පුළුවන්.

එමෙන්ම මෙම ක්‍රීඩාව ප්‍රගුණ කිරීමේ දී භාවනා/ යෝගා වැනි ක්‍රම හරහා ක්‍රීඩකයන්ගේ කායික මානසික තත්ත්වය සකසනු ලබනවා. ඒ  මත තරුණ පිරිස යහමගට ගැනීම මෙන්ම නිරෝගි තරුණ පිරිසක් ගොඩනැගීමත් සිදු වෙනවා.

අංගම්පොර සටන් කලාව දේශීය සටන් කලාවක්. දේශීය දේවල් රැකගැනීම අපේ යුතුකමක්.

දැනට මේ ක්ෂේත්‍රයේ නියැලෙන්නේ බොහොම අතළොස්සක පිරිසක්. අංගම්පොර සටන් ශාස්ත්‍රය හදාරන එහි ගුරුහරුකම් ලබා දෙන ශිල්පීන් සොයාගෙන මෙවැනි දේශීය සටන් ක්‍රම සහ ජන ක්‍රීඩා ජාතික මට්ටමින් පුහුණු කිරීම සඳහා පුහුණු මධ්‍යස්ථානයක් හදන්න බලාපොරොත්තු වෙනවා.

එසේම අංගම්පොර සටන් කලාවේ පවතින හරයන් පාසල් අධ්‍යාපනයට ඇතුළත් කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලිය යුතුයි.

අංගම්පොර සටන් ශාස්ත්‍රය ඇතුලුව අපේ පැරණි ජන ක්‍රීඩා හා සටන් ක්‍රම පිළිබඳ පර්යේෂණාත්මකව සොයා බලා ඒවා අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිතව රැකගැනීම එම ක්‍රීඩා දැනුම සංරක්ෂණය කිරීමට කෞතුකාගාරයක් ඉඳිකරනත් බලාපොරොත්තු වෙනවා” යැයි අමාත්‍යවරයා එහි දී ප්‍රකාශ කළා.

එමෙන්ම තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ ග්‍රාමීය පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය එකාබද්ධව අප රටෙහි සාම්ප්‍රදායික ක්‍රීඩාවන් ප්‍රවර්ධනයට විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන බව ද අමාත්‍යවරයා එහි දී ප්‍රකාශ කර සිටියා.

මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍යවරයාට අමතරව ග්‍රාමීය පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය තේනුක විදානගමගේ මහතා සහ එම අමාත්‍යාංශයේ ලේකම් රවින්ද්‍ර සමරවික්‍රම මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<