මධ්‍යම ආසියානු වොලිබෝල් කිරුළේ අපරාජිතයෝ

මධ්‍යම ආසියානු පිරිමි වොලිබෝල් ශූරතාවය 2023

167
මධ්‍යම ආසියානු පිරිමි වොලිබෝල් ශූරතාවය 2023

දෙවැනි වරටත් පැවති මධ්‍යම ආසියානු අභියෝගතා කුසලාන පිරිමි වොලිබෝල් තරගාවලියේ ශූරතාව නැවත වතාවක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා. 2021 වසරේ දී පළමු වරට පැවති තරගාවලියේ ද ශූරයන් වූයේ ශ්‍රී ලංකාවයි.

එවර නායකත්වයේ කිරුළ ලසිඳු මෙත්මාල් සතු වූ අතර මෙවර ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වූයේ දීප්ති රොමේෂ්. මෙවර තරගාවලිය සඳහා උස්බෙකිස්තානය, ඇෆ්ගනිස්තානය, සෞදි අරාබිය, නේපාලය සහ බංග්ලාදේශය සහ සත්කාරක ශ්‍රී ලංකාව යන රටවල් සහභාගී වුනා.

“ගියවර ලැබූ ජයග්‍රහණය මෙවරත් ආරක්ෂා කර ගැනීමට හැකි වීම ගැන ගොඩාක් සතුටු වෙනවා. පසුගිය වසරට වඩා මෙවර තරගකාරීත්වය ඉතා ඉහළ මට්ටමක තිබුණා. ගියවර තරගාවලිය පැවැත්වුණේ කණ්ඩායම් 5ක සහභාගීත්වයෙන්. නමුත් මෙවර කණ්ඩායම් 6ක් සහභාගී වුනා.

ඒ අතින් බැලුවත් තරගාවලිය උණුසුම් මට්ටමක තිබුණේ. අපේ ක්‍රීඩකයන්ගේ දක්ෂතා ගැන විශාල විශ්වාසයකින් තරගාවලියට එක් වුනේ. ඒ වගේ ම ඒ විශ්වාසය මතින් තරගාවලිය අවසන් කරන්නත් හැකි වුනා,” ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්න ජයසේකර මහතා තරගාවලියෙන් අනතුරුව ThePapare.com සමඟ පැවැසුවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රාහී ගමන් මඟ
 

ප්‍රතිවාදීන්

ශ්‍රී ලංකා

ප්‍රතිඵලය

ලකුණු පුවරුව
1 වටය 2 වටය 3 වටය 4 වටය 5 වටය
1 සෞදි අරාබිය 3-0ක ජයග්‍රහණයක් 25-19 25-17 26-24 නැත. නැත.
2 නේපාලය 3-0ක ජයග්‍රහණයක් 26-24 25-18 25-16 නැත නැත.
3 උස්බෙකිස්තානය 2-3ක පරාජයක්. 20-25 25-16 23-25 25-17 11-15
4 ඇෆ්ගනිස්තානය 3-1ක ජයග්‍රහණයක්. 25-19 18-25 25-22 25-17 නැත.
5 බංග්ලාදේශය 3-1ක ජයග්‍රහණයක්. 25-18 25-21 19-25 25-23 නැත
අවසන් මහා තරගය
උස්බෙකිස්තානය 3-0ක ජයග්‍රහණයක් 25-14 25-18 25-23 නැත. නැත

(පළමුව දැක්වෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත් ලකුණු සංඛ්‍යාවයි)

මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනය ක්‍රියාත්මක වෙන්නේ කලාප 2ක් මඟින්. ඉන් ශ්‍රී ලංකාව පළමු කලාපයට අයත් වූවත් ඔවුන්ගේ ම ඉල්ලීම මත ඔවුන් තරග සඳහා සහභාගී වෙන්නේ දෙවැනි කාණ්ඩයෙන් බවයි චන්න ජයසේකර මහතා පැවැසුවේ.

“අපි මෙම කාණ්ඩයෙන් ක්‍රීඩා කරන්නේ තරග පළපුරුද්ද ලබා ගන්න. ඇත්තට ම අපිට ලැබෙන ජාත්‍යන්තර තරග අඩුයි. මේ නිසා අපිට ජාත්‍යන්තරව පැවැත්වෙන වැඩි තරග අත්දැකීම් ලබා ගන්න නම් මේ වගේ ක්‍රමවේදයකට යන්න සිදු වුනා.

අනෙක් කොටසේ ඉන්දියාව, පාකිස්තානය සහ ඉරානය වගේ රටවල් සිටිනවා. ඔවුන් ඉතා ඉහළ මට්ටමක සිටින කණ්ඩායම්. මේ ජයග්‍රහණයත් සමඟ අපිට විශ්වාසයක් තියෙනවා එම කලාපයේ තරග සඳහාත් ආරාධිත කණ්ඩායමක් ලෙස අපිට සහභාගී වෙන්න අවස්ථාවක් ලැබෙයි කියලා.

මෙම කලාපයේ තරගාවලියේත් ඇතැම් තරග අපිට ලෙහෙසියෙන් ජයග්‍රහණය කරන්න ලැබුණේ නැහැ. හොඳ තරගකාරීත්වයක් තිබුණා. නිකං ම තරගයක් දිනනවට වඩා, එවැනි තරගකාරීත්වයකින් දිනන එක අපේ ක්‍රීඩකයන්ගේ වාසියට හරවා ගන්න පුළුවන්,” ඔහු වැඩි දුරටත් පැවසුවා.

තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා මහේල ඉන්දීවර
තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා මහේල ඉන්දීවර

නිමා වූ මෙම තරගාවලියේ අවසන් මහා තරගය හා එක් වූ උස්බෙකිස්තාන කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පළමු වටයේ දී පරාජය වෙනවා. එය ඉතා තියුණු තරගකාරීත්වයකින් යුත් තරග වට 5කින් යුත් තරගයක් වුනා. අවසන් තරගයේ දී ද එවැනි ම තරගකාරීත්වයක් ප්‍රතිවාදීන්ගෙන් බලාපොරොත්තු වූව ද සත්කාරකයෝ ඊට ඉඩ තැබුවේ නැහැ. එම තරගය නිමා වෙන්නේ තරග වට 3-0කින්.

ඊට අමතරව ශ්‍රී ලංකාව සහභාගී වූ ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය සමඟ තරග ද වට 4ක් දක්වා ඇදී ගිය අතර අනෙක් තරග දෙක වූ සෞදි අරාබිය සහ නේපාලය අතර තරගය වට 3ක දී නිමා වූව ද එම තරග ද ලෙහෙසියෙන් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හැකි වූයේ නැහැ.

  • තරගාවලියට එක් ව ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම; දීප්ති රොමේෂ් (නායක), ලසිදු මෙත්මාල් (උපනායක), මලීෂ රවිශාන්, ෂෙහාන් විමුක්ති, මහේල ඉන්දීවර, තරිඳු ලක්මාල්, ශනුක මධුභාෂන, වසන්ත ලක්මාල්, අයේෂ් පෙරේරා, තරුෂ චමත්, ඒ. ශ්‍රී බාරත්, ෂෙහාන් ලක්ෂිත, රුචිර සම්පත් සහ මනෝජ් සුරංග.
  • නිලධාරීන්; ටී. ඩී. එස්. ද සිල්වා මහතා (කළමණාකරු), චන්න ජයසේකර මහතා (ප්‍රධාන පුහුණුකරු), නිශාන් ඉන්දික මහතා (සහාය පුහුණුකරු), සහ සුසිරි මංගල මහතා (අභ්‍යාසක)
 තරගාවලියේ දක්ෂතම මැද පෙළ පන්දු වළක්වන්නා අයේෂ් දිල්හාන් පෙරේරා

මෙම තරගාවලිය ශ්‍රී ලංකා වොලිබෝල් කැලැන්ඩරයේ අවසන් ජාත්‍යන්තර තරගාවලියයි. මෙතැන් සිට ආරම්භ වෙන්නේ දේශීය තරග පිටියයි.

“මෙම තරගාවලියත් සමඟ වොලිබෝල් ක්‍රීඩාවේ යම් පිබිදීමක් වගේ ම ප්‍රේක්ෂක පිරිසක් ද එක් වූ බවක් තරගාවලිය පුරා අපි දැක්කා. මේ තත්ත්වය අපිට දිගින් දිගට ම පවත්වාගෙන යන්න පුළුවන් නම් වොලිබෝල් ක්‍රීඩාවේ මීට වඩා පිබිදීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.”

ඒ සමඟ ම වොලිබෝල් ක්‍රීඩාව වෙනුවෙන් අනුග්‍රාහකත්වයන් ද මීට වඩා වැඩි විය යුතු බවක් ද ඔහු පවසනවා.

“තරගවල සහභාගී වුනා කියලා ලෝක වොලිබෝල් සංගමයෙන් අපේ සංගම් වෙත සල්ලි ලබා දෙන්නේ නැහැ. ඒ වගේ ම ක්‍රිකට්වලින් එනවා වගේ තරගවලින් ආදායමක් ද අපිට ලැබෙන්නේ නැහැ. ඒ වගේ තත්ත්වයක් තියෙනවා නම් වොලිබෝල් ක්‍රීඩාව මීට වඩා ව්‍යාප්ත වෙලා. අපිට සියලු දේ කරගන්න වෙලා තියෙන්නේ අනුග්‍රාහකත්වයන් මත. මෙතෙක් අනුග්‍රාහකයන් ලෙසින් සිටි අයට ස්තූති වන්ත වෙන අතර ම මේ වෙනුවෙන් මීට වඩා අනුග්‍රාහකත්වයක් ලැබිය යුතුයි කියන මට්ටමේ මම ඉන්නවා.”

එමෙන් ම ක්‍රීඩකයන්ට පහසුකම් ලබා දෙමින් ඔවුන් ක්‍රීඩාවේ රඳවා ගැනීමේ වැඩ පිළිවෙළක් ද ක්‍රියාත්මක විය යුතු බව ඔහුගේ අදහසක්.

“අපේ ක්‍රීඩකයන්ගේ අවශ්‍යතාවන් සහ පහසුකම් සැකසෙනවා නම් ඉන්දියාවට, පාකිස්තානයට අභියෝග කරන්න පුළුවන් දක්ෂතා තිබෙන ක්‍රීඩකයෝ ඕන තරම් අපි අතර ඉන්නවා. ඔවුන් දිගින් දිගට ම වොලිබෝල් ක්‍රීඩාවේ රැඳී නොසිටින එකයි ප්‍රශ්නය සහ අපිට ඔවුන් දිගින් දිගට ම මේ තුළ රඳවා තබා ගැනීමේ හැකියාවක් නොමැතිකමයි මම දකින විශාල ම ප්‍රශ්නය.”

එමෙන් ම ජාත්‍යන්තර තරග සහභාගීත්වය අවම වීම ද වොලිබෝල් ක්‍රීඩාවට විශාල බලපෑමක් කරන බවට ද ඔහු පවසනවා.

“SAFF තරගාවලිය අවුරුදු ගණනාවකින් තියලා නැහැ. සහභාගී වෙන්න වෙනත් තරගාවලියන් ද නැහැ. මේවත් වොලිබෝල් ක්‍රීඩාවේ අපි මුහුණ දෙන ප්‍රශ්න. තරගාවලි අඩු එක තමයි අපිට තියෙන ප්‍රබලත ම බලපෑම. කොහොම වුනත්, මේ අවශ්‍යතාවන් යම් තරමකට හෝ ලැබෙනවා නම් අපිට දකුණු ආසියානු රන් පදක්කමකට යන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා,” ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායමේ පුහුණුකරු චන්න ජයසේකර මහතා ThePapare.com පැවසුවා.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයන් 8 දෙනෙක් ඇගයුණ අතර ඒ අතරින් සිව්දෙනෙක් ම ශ්‍රී ලංකා ක්‍රිඩකයන් වීම විශේෂත්වයක්. මේ අතරින් තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙස මහේල ඉන්දීවර බණ්ඩාර සම්මාන දිනා ගත් අතර ඔහු 2021 වසරේ පැවති තරගාවලියේ දී දක්ෂතම ප්‍රහාරාත්මක ක්‍රීඩකයා ලෙසින් සම්මාන දිනා ගැනීමට ද සමත් වුනා.

  • තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා: මහේල ඉන්දීවර බණ්ඩාර
  • තරගාවලියේ දක්ෂතම ප්‍රහාරාත්මක ක්‍රීඩකයා: ලසිඳු මෙත්මාල් වසන්තප්‍රිය
  • තරගාවලියේ දක්ෂතම උස පන්දු ප්‍රහාරාත්මක ක්‍රීඩකයා: ෂෙහාන් විමුක්ති (ශ්‍රී ලංකාව), Haidari Gulam Rasool (ඇෆ්ගනිස්තානය)
  • තරගාවලියේ දක්ෂතම මැදපෙළ පන්දු වළක්වන්නා: අයේෂ් දිල්හාන් පෙරේරා (ශ්‍රී ලංකාව), Kuchkorov Azizbek (උස්බෙකිස්තානය)
  • තරගාවලියේ දක්ෂතම පිටිය සකසන්නා: Murodov Mirziyod (උස්බෙකිස්තානය)
  • තරගාවලියේ හොඳම ලිබරෝ ක්‍රීඩකයා: Almureet Hussain (සෞදි අරාබිය)

මධ්‍යම ආසියානු වොලිබෝල් පිරිමි ශූරතාව දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමට ThePapare.com හී සුබ පැතුම්! දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ තරග උණුසුම ඒ අකාරයෙන් ම විඳ ගැනීමට රැඳී සිටින්න  ThePapare.com සමඟම.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න <<