ශ්‍රී ලංකාව, නේපාලය සහ ඇෆ්ගනිස්ථානය පළමු දිනයේ ජයග්‍රහණ ලබයි

795

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ පැවැත්වෙන 2023 මධ්‍යම ආසියානු පිරිමි  වොලිබෝල් ශූරතාවය ඊයේ (09) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා.

මෙම මස 15 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත මෙම තරගාවලියේ ආරම්භක දිනයේ දී ජයග්‍රහණ ලබා ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා, නේපාල සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම් සමත් වුනේ උස්බෙකිස්තානය, සෞදි අරාබිය සහ බංග්ලාදේශය පරාජය කරමිනුයි.

තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගයෙන් තියුණු සටනකින් පසු උස්බෙකිස්තානය තරග වට 3-2ක් ලෙස පරාජය කරමින් ජයග්‍රහණය ලබා ගන්නට ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයින් සමත් වුනා.

තරගයේ පළමු වට ද්විත්වය 25-17ක් සහ 26-24ක් ලෙස ජයග්‍රහණය කිරීමට ඇෆ්ගනිස්ථානය සමත් වූවත්, තෙවැනි සහ සිව්වැනි වට 28-26ක් සහ 25-22ක් ලෙස ජයග්‍රහණය කළේ උස්බෙකිස්තානයයි. තරගයේ තීරණාත්මක අවසන් වටය ඇෆ්ගනිස්ථානය 15-13ක් ලෙස ජයග්‍රහණය කළා.

සවස පැවති සමාරම්භක උළෙලෙන් පසු සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු තරගය සඳහා ප්‍රබල සෞදි කණ්ඩායමට එරෙහිව තරග බිමට පිවිසියා.

තරගය පුරාවට සිය ආධිපත්‍ය රඳවා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වට 3-0ක් ලෙස තරගය ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර ලකුණු 25-19ක්, 25-17ක් සහ 26-24ක් ලෙසයි තරග වට තුනේ ලකුණු තත්වය දැක්වුණේ.

තරගය පුරාවට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ දස්කම් කැපී පෙනුණ අතර නායක දීප්ති රොමේෂ්, අයේෂ් ලසිඳු මෙත්මල් සහ මහේල ඉන්දීවරගේ ප්‍රහාරාත්මක ක්‍රීඩා විලාසය කැපී පෙනුණා.

ඒ අනුව පළමු තරගය පහසුවෙන් ජයග්‍රහණය කරමින් තරගාවලිය ඉතා හොඳින් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වූ අතර මෙම තරගාවලියේ වත්මන් ශූරයින් වන්නේ ද ශ්‍රී ලංකාවයි.

පළමු දිනයේ පැවති අවසන් තරගයෙන් බංග්ලාදේශය පරාජය කරමින් වට 3-1ක ජයග්‍රහණයක් ලබා ගැනීමට නේපාල ක්‍රීඩකයින් සමත් වුනා.

තරගයේ පළමු වටය 25-20ක් ලෙස නේපාලය ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර දෙවැනි වටය 25-19ක් ලෙස ජයග්‍රහණය කරමින් තරගයට අවතීර්ණ වීමට බංග්ලාදේශ ක්‍රීඩකයින් සමත් වුනා.

නමුත් තෙවැනි වටය ලකුණු 25-23ක් සහ 25-21ක් ලෙස ජයග්‍රහණය කරමින් තරගයේ ජය තහවුරු කර ගැනීමට නේපාල ක්‍රීඩකයින්ට හැකි වුනා.

තරගාවලියේ දෙවැනි දිනය වන අද (10) තවත් තරග තුනක් පැවැත්වීමට නියමිතයි.

4  

ඔක්තෝබර් 10

කසකස්තානය උස්බෙකිස්තානය පස්වරු 1.30
5 ශ්‍රී ලංකාව නේපාලය සවස 4.00
6 බංග්ලාදේශය ඇෆ්ගනිස්තානය සවස 6.30

මෙම තරග ඇතුළු සමස්ත තරගාවලිය සජීවීව විකාශය කිරීමට ශ්‍රී ලංකාවේ අංක 1 වෙබ් නාලිකාව වන ThePapare.com කටයුතු කර තිබෙනවා. ඊට සමගාමීව Dialog TV Channel 126 සහ Dialog ViU mobile app මඟින් ද මෙම තරග නැරඹීමේ අවස්ථාව හිමි වෙනවා.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න <<