එංගලන්ත ලෝක කුසලාන සංචිතය නම් කරයි

ICC Men's T20 World Cup 2024

77

එළඹෙන විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වීමට නියමිත එංගලන්ත සංචිතය අද (30) ප්‍රකාශයට පත් කළා.

මෙම සංචිතය සඳහා ඔවුන්ගේ ප්‍රධානතම වේගපන්දු තුරුම්පුවක් වන Jofra Archer කැඳවා ඇති අතර, දිගින් දිගටම ඇති වූ ආබාධ තත්වයන් හේතුවෙන් ඔහු පසුගිය කාලය පුරාවටම ක්‍රිකට් පිටියේ දක්නට ලැබුණේ නැහැ.

මේ අතර 2023 වසරේ සැප්තැම්බර් මාසයේ දී අවසන් වරට එංගලන්ත කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලද තුන් ඉරියව් ක්‍රීඩක Chris Jordan ද මෙම සංචිතයට කැඳවා තිබීම විශේෂත්වයක්.

එමෙන්ම මෙම වසර මුල දී ඉන්දියාවට එරෙහිව පැවැත්වුණු ටෙස්ට් තරගාවලියේ දී විශිෂ්ට දස්කම් දැක්වූ දඟපන්දු යවන ක්‍රීඩක Tom Hartley ද මෙම සංචිතයට ඇතුළත් කර ඇති අතර, 2022 ලෝක ශූරතාව ජයග්‍රහණය කළ එංගලන්ත සංචිතයට ඇතුළත් වූ ක්‍රීඩකයින් අතුරින් ක්‍රීඩකයින් 09 දෙනෙකු ම මෙවර සංචිතයට ද ඇතුළත් වී තිබෙනවා.

මෙම කණ්ඩායමේ නායකත්වය සුපුරුදු පරිදි Jos Buttler හට හිමි වී ඇති අතර, උපනායක වගකීම Moeen Ali විසින් දරනු ඇති.

එංගලන්ත සංචිතය මෙසේයි;

Jos Buttler (නායක), Phil Salt, Will Jacks, Jonny Bairstow, Ben Duckett, Harry Brook, Liam Livingstone, Moeen Ali (vice-captain), Sam Curran, Chris Jordan, Tom Hartley, Adil Rashid, Jofra Archer, Mark Wood, Reece Topley

මේ අනුව මෙම සංචිතය ප්‍රකාශයට පත් කිරීමත් සමඟම මෙම සංචිතයට ඇතුළත් ව සිටින ක්‍රීඩකයින්ට මෙවර IPL තරගාවලියේ Play-Off තරග අහිමි ව යනු ඇති බවත් එංගලන්ත ක්‍රිකට් බලධාරීන් විසින් අවධාරණය කර තිබෙනවා.

මෙම තීරණය විශේෂයෙන්ම Jos Buttler (Rajasthan Royals), Phil Salt (Kolkata Knight Riders) සහ Moeen Ali (Chennai Super Kings) ක්‍රීඩකයින්ට බලපෑම් කරනු ඇති අතර, ඊට අමතරව Punjab Kings කණ්ඩායම නියෝජනය කරන Jhonny Bairstow, Liam Livingstone සහ Sam Curran හටත්, Royal Challengers Bangaluru කණ්ඩායම නියෝජනය කරන Will Jacks සහ Reece Topley යන ක්‍රීඩකයින්ට ද බලපෑම් කිරීමට යම් ඉඩක් පවතිනවා. (කෙසේ වෙතත් මෙම කණ්ඩායම් ද්විත්වය ම මෙවර IPL තරගාවලියේ Play-Off වෙත පිවිසීමේ සටනේ ඉතා දුර්වල මට්ටමකයි රැඳී සිටින්නේ.)

IPL තරගාවලියේ Play-Off තරග මැයි මස 21 සිට 26 දක්වා පැවැත්වීමට නියමිත අතර, එංගලන්තය සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත තරග හතරකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් මැයි මස 22 දා ආරම්භ වීමට නියමිතයි.

2024 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<