චාමිකට අත්හිටවූ තරග තහනමක් සහ දඩ!

Abu Dhabi T10 League

228

ඕස්ට්‍රේලියාවේ දී පැවති 2022 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය අතර සිදු වුවා යැයි පැවසෙන විනය විරෝධි හැසිරීමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නට විරුද්ධව එල්ල වූ චෝදනා පිළිබඳ පැවැත්වූ විනය පරීක්ෂණයෙන් සිදු කළ සොයා ගැනීම් සහ නිර්දේශ කිරීම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් (SLC) ඊයේ (23) නිවේදනය කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වෙනවා.

“පසුගිය දා ඕස්ට්‍රේලියාවේ දී නිමාව දුටු විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අතරතුර දී ක්‍රීඩක ගිවිසුමේ සඳහන් වගන්ති කිහිපයක් කඩ කිරීම සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ ගිවිසුම්ගත වී සිටින චාමික කරුණාරත්න හට එල්ල වූ චෝදනා පිළිබඳ ත්‍රිපුද්ගල කමිටුවක් මගින් සිදු කළ පරීක්ෂණ වාර්තා අනූව කරුණාරත්න මහතා ඔහුට එල්ල වී ඇති සියලු චෝදනාවලට වරදකරු වූ බව මෙයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දැනුම් දෙනු ලබයි.

කරුණාරත්න මහතා විසින් සිදු කර ඇති විනය කඩ කිරීම්වල බරපතළකම සැලකිල්ලට ගනිමින් පරීක්ෂණ කමිටුව ක්‍රිකට් විධායක කමිටුවට දන්වා ඇත්තේ ක්‍රීඩකයාට නැවත එවැනි ක්‍රියාවල නිරත වීමෙන් වැළකී සිටීමට දැඩි ලෙස අවවාද කරන ලෙසත්, ඔහුගේ ක්‍රීඩා ජීවිතයට බලපෑමක් ඇති නොවන අයුරින් දඬුවමක් නියම කරන ලෙසත් ය.

එම නිර්දේශ කිරීම් අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව මගින් ඔහුට සියලුම ආකාරයේ ක්‍රිකට් තරග සඳහා සහභාගී වීමට වසරක තහනමක් පනවා ඇති අතර, එම දඬුවම වසරක කාලයකට අත්හිටුවා ඇත. තවද එම අත්හිටවූ දඬුවමට අමතරව කරුණාරත්න මහතාට ඇමරිකානු ඩොලර් 5000ක දඩයක් ගෙවන ලෙස ද නියම කර ඇත.”

මේ අතර පසුගිය සතියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නව හෙටින් (25) ආරම්භ වීමට නියමිත ඇෆ්ගනිස්තානය සමඟ එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත් කර ඇති නමුත් එයට හේතුව වන්නේ විනය පිළිබඳ ගැටලු නොව, දස්කම් නොදැක්වීම බවයි.

මේ අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ දී පැවති තරග පහකින් යුත් එක්දින තරගාවලියේ දස්කම් අතර රැඳුණු චාමික කරුණාරත්නව මෙවර සංචිතයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය රොශාන් රණසිංහ මහතා විසින් ද වාර්තාවක් ඉල්ලා සිටියා.

ක්‍රීඩාවේ සියලුම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<