ඇෆ්ගනිස්ථානය පරාජය කරමින් ශ්‍රී ලංකාවට තවත් ජයක්

මධ්‍යම ආසියානු පිරිමි වොලිබෝල් ශූරතාවය 2023

212

ආසියානු වොලිබෝල් සම්මේලනය විසින් සංවිධානය කරන මධ්‍යම ආසියානු පිරිමි වොලිබෝල් අභියෝගතා කුසලානයේ මූලික වටයේ තවත් තරග කිහිපයක් ඊයේ (13) පැවැත්වුණා. 

එම තරගවලින් කැපී පෙනෙන දස්කම් දක්වමින් ජයග්‍රහණ ලබා ගැනීමට සමත් වුනේ සෞදි අරාබිය, සත්කාරක ශ්‍රී ලංකාව සහ උස්බෙකිස්තානයයි.  

දිනයේ පැවති පළමු තරගය වට 5ක් දක්වා ඇදී ගිය තියුණු තරගයක් වූ අතර එම තරගයෙන් නේපාලය පළමු වටයේ දී ලකුණු 25-22ක් ලෙස පරාජය කිරීමට සෞදි ක්‍රීඩකයින් සමත් වූවත්, දෙවැනි වටය 25-21ක් ලෙස ජයග්‍රහණය කිරීමට නේපාලය සමත් වුනා. 

තෙවැනි වටය ලකුණු 25-23ක් ලෙස ජයග්‍රහණය කිරීමට සෞදි ක්‍රීඩකයින් සමත් වෙද්දී,  සිව්වැනි වටය ලකුණු 27-25ක් ලෙස ජයග්‍රහණය කිරීමට නේපාලය සමත් වුනා. තරගයේ තීරණාත්මක අවසන් වටය ලකුණු 16-14ක් ලෙස ජයග්‍රහණය කරමින් තරගාවලියේ පළමු ජයග්‍රහණය ලබා ගැනීමට සෞදි අරාබි ක්‍රීඩකයින්ට හැකි වුනා. 

තෙවැනි තරගයේ දී උස්බෙකිස්තානය හමුවේ ලද පරාජයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තීරණාත්මක තරගයකට ඇෆ්ගනිස්ථානයට එරෙහිව සහභාගී වූ අතර එම තරගයෙන් වට 3-1ක ජයග්‍රහණයක් ලැබුවේ ශ්‍රී ලංකාවයි. 

තරගයේ පළමු වටය 25-19ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් වූවත්, දෙවැනි වටයේ දී සිය රිද්මයට පිවිසෙමින් එම වටය 25-18ක් ලෙස ජයග්‍රහණය කිරීමට ඇෆ්ගනිස්ථානයට හැකි වුනා. 

නමුත් සිය සත්කාරක ක්‍රීඩාංගණයේ දී ආධිපත්‍ය පෙන්නුම් කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තෙවැනි වටය 25-22ක් සහ සිව්වැනි වටය 25-17ක් ලෙස ජයග්‍රහණය කරමින් තරගාවලියේ තෙවැනි ජයග්‍රහණය වාර්තා කළා. 

ඊයේ පැවති අවසන් තරගයේ දී සිය දස්කම් නැවතත් පෙන්නුම් කළ උස්බෙකිස්තාන ක්‍රීඩකයින් තරග වට 3-1ක් ලෙස බංග්ලාදේශය පරාජයට පත් කරමින් ජයග්‍රහණය ලබා ගත්තා. එම තරගයේ අවසන් ලකුණු තත්වය දැක්වුණේ 25-23ක්, 19-25ක්, 25-18ක් සහ 25-13ක් ලෙසයි.  

2023 මධ්‍යම ආසියානු පිරිමි වොලිබෝල් ශූරතාවයේ තවත් තරග කිහිපයක් අද (14) පැවැත්වීමට නියමිතවයි.

එම තරග ඇතුළු සමස්ත තරගාවලිය සජීවීව විකාශය කිරීමට ශ්‍රී ලංකාවේ අංක 1 වෙබ් නාලිකාව වන ThePapare.com කටයුතු කර තිබෙනවා. ඊට සමගාමීව Dialog TV Channel 126 සහ Dialog ViU mobile app මඟින් ද මෙම තරග නැරඹීමේ අවස්ථාව හිමි වෙනවා. 

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න <<