මධ්‍යම ආසියානු වොලිබෝල් කිරුළ නැවතත් ශ්‍රී ලංකාවට

මධ්‍යම ආසියානු පිරිමි වොලිබෝල් ශූරතාවය 2023

810
මධ්‍යම ආසියානු පිරිමි වොලිබෝල් ශූරතාවය 2023

දින හතක් පුරාවට කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවති මධ්‍යම ආසියානු වොලිබෝල් සංගම් අභියෝගතා කුසලානය අද (15) නිමාවට පත් වුනේ ශ්‍රී ලංකාව නැවතත් මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරයින් ලෙස කිරුළු දරමිනුයි.

තරගාවලියේ ලීග් වටයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගත් ශ්‍රී ලංකාව සහ උස්බෙකිස්තානය මෙවර මධ්‍යම ආසියානු පිරිමි වොලිබෝල් ශූරතාවය සඳහා තරග බිමට පිවිසියා.

මූලික වටයේ දී ශ්‍රී ලංකාව හමුවේ ලද ජයග්‍රහණය නිසා උස්බෙකිස්තාන කණ්ඩායම මෙම තරගයේ වෙනසක් සිදු කරනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වූවත්, පළමු වටය කැපී පෙනෙන දස්කම් සමඟ 25-14ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වුනා.

දෙවැනි වටය ආරම්භයේ සිටම ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රහාරාත්මක ක්‍රීඩා විලාසය නිසා උස්බෙකිස්තාන ක්‍රීඩකයින්ට නැවත තරගයට පිවිසීමට කිසිදු ඉඩක් හිමි නොවූ අතර එම වටයේ ද ලකුණු 25-18ක් ලෙස ජයග්‍රහණය හිමි වුනේ ශ්‍රී ලංකාවටයි.

තරගයේ තීරණාත්මක තෙවැනි වටයේ දී උස්බෙකිස්තාන ක්‍රීඩකයින් ශ්‍රී ලංකාවට දැඩි පීඩනයක් එල්ල කරමින් තරගයට අවතීර්ණ වීමට උත්සාහ දැරූ නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලකුණු 25-23ක් ලෙස එම වටයේ ද ජයග්‍රහණය ලැබුවා.

ඒ සමඟ අවසන් මහා තරගය තරග වට 3-0ක් ලෙස ජයග්‍රහණය කිරීමෙන් අඛණ්ඩව දෙවැනි වරටත් මධ්‍යම ආසියානු වොලිබෝල් සංගම් අභියෝගතා ශූරතාවය ශ්‍රී ලංකාව දිනා දීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වුනා.

එමෙන්ම අද දිනයේ දී තරගාවලියේ තෙවැනි ස්ථානය සඳහා වූ තරගය පැවති අතර එම තරගය සඳහා සුදුසුකම් ලබා තිබුණේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ තරගාවලියේ කැපී පෙනෙන දස්කම් දැක්වූ සෞදි අරාබි කණ්ඩායමයි.

ඉතා උණුසුම් මුහුණුවරක් ගත් තරගයේ පළමු වටය ලකුණු 25-14ක් ලෙස ආධිපත්‍ය රඳවා ගනිමින් ජයග්‍රහණය කළ ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයින් දෙවැනි වටය ජයග්‍රහණය කළේ ලකුණු 25-16ක් ලෙසයි.

සෞදි අරාබි ක්‍රීඩකයින්ට තරගයට නැවත අවතීර්ණ වීමට කිසිදු අවස්ථාවක් ලබා නොදුන් ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයින් තරගයේ තෙවැනි වටය ලකුණු 25-18ක් ලෙස ජයග්‍රහණය කරමින් තරග වට 3-0ක් ලෙස තරගයේ ජයග්‍රහණය තහවුරු කළා.

ඒ අනුව තරගාවලිය තෙවැනි ස්ථානය දිනා ගනිමින් අවසන් කිරීමට ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයින්ට හැකි වුනා.

දිනෙන් දින උණුසුම් වන වොලිබෝල් පිටියේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

>>තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න<<