බංගලියන් හමුවේ ශ්‍රී ලංකාවට පහසු ජයක්

CAVA කාන්තා වොලිබෝල් අභියෝගතා කුසලානය 2023

253

2023 CAVA කාන්තා වොලිබෝල් අභියෝගතා කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව වාර්තා කළ දෙවැනි ජයග්‍රහණය සඳහා හිමිකම් කියන්නට මෙරට ක්‍රීඩිකාවන් අද (25) සමත් වුනේ බංග්ලාදේශ ක්‍රීඩිකාවන් තරග වට 3/0ක් ලෙස පරාජය කරමිනුයි.

නේපාලයේ කත්මණ්ඩු නුවර දී පැවැත්වෙන මෙම තරගාවලියේ 8 සිට 5 වැනි ස්ථාන තීරණය කරන තරගයට අද ශ්‍රී ලංකාව සහභාගී වුනේ ඊයේ (24) පැවති කාණ්ඩ වටයේ අවසන් තරගයෙන් මාලදිවයින් ක්‍රීඩිකාවන් තරග වට 3/0ක් ලෙස පරාජය කරමිනුයි. නමුත් බංග්ලාදේශ ක්‍රීඩිකාවන් මෙම තරගයට අවතීර්ණ වුනේ ඔවුන් සහභාගී වූ සියලු තරග පරාජය වෙමිනුයි.

සවස 4:45ට පමණ ආරම්භ වූ තරගයේ බංග්ලාදේශ දෙසින් පන්දුව පිරිනැමුණු අතර ලකුණු පුවරුව සක්‍රීය කරන්නේ ද බංග්ලාදේශ ක්‍රීඩිකාවන් විසිනුයි. ඉන් අනතුරුව ශ්‍රී ලංකාව ද ලකුණු පුවරු සක්‍රීය කරමින් පරතරයක් සහිතව ඉදිරියට ගමන් කළත්, 5-5ක් ලෙස පසුව ලකුණු තත්වය සම කරන්නට බංග්ලාදේශ ක්‍රීඩිකාවන් සමත් වනවා.

නමුත් ඉන්පසුව කිසිදු අවස්ථාවක බංග්ලාදේශ ක්‍රීඩිකාවන්ට හිස ඔසවන්නට ඉඩ නොදුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පළමු වටය අවසන් කරන්නේ 25-16ක් ලෙස දැවැන්ත ලකුණු පරතරයක් සමඟින් වීම විශේෂත්වයක්.

ජයග්‍රාහීව දෙවැනි වටය ආරම්භ කළ ශ්‍රී ලංකාව පළමුව ලකුණු පුවරුව සක්‍රීය කළා. පළමු වටයේ දී සේ ම 4-4ක් ලෙස ලකුණු පුවරුව සම කරන්නට බංග්ලාදේශ ක්‍රීඩිකාවන් සමත් වූ නමුත්, ඉන් අනතුරුව තරගය වෙනස් මාවතකට ගෙන යන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුනේ ලකුණක දෙකක පරතරය ලකුණු 10ක් දක්වා ඉහළ දමමින් 23-13ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කරමිනුයි. අවසානයේ දී 25-15ක් ලෙස දෙවැනි වටය නිමා වන්නේ ශ්‍රී ලංකාවට ජයග්‍රාහී බලාපොරොත්තු එක් කරමිනුයි.

තෙවැනි වටයේ දී ද ශ්‍රී ලංකාව ලකුණු පුවරුව ක්‍රියාත්මක කරන්නට සමත් වූ අතර බංග්ලාදේශය හමුවේ නැවතත් ලකුණු 10ක පරතරයක් ගොඩ නගා ගන්නට ශ්‍රී ලංකාව සමත් වුනේ 15-5ක් ලෙස බංග්ලාදේශ ක්‍රීඩිකාවන් අසරණ කරමිනුයි. ඒ අනුව ජයග්‍රහණය බංග්ලාදේශයෙන් ඈතට යන බව සක්සුදක් සේ පැහැදිලි කරමින් ශ්‍රී ලංකාව තවතවත් ඉදිරියටම ඇදුණු අතර මෙවර තරගාවලියේ ශ්‍රී ලංකාව මෙතෙක් වාර්තා කළ හොඳම ලකුණු පරතරය වාර්තා කරමින් 25-7ක් ලෙස තරගය අවසන් වන්නේ තරග වට 3/0ක ජයක් ශ්‍රී ලංකාව නාමය ඉදිරියේ සටහන් වෙමිනුයි.

  පළමු වටය දෙවැනි වටය තෙවැනි වටය
ශ්‍රී ලංකාව 25 25 25
බංග්ලාදේශය 16 15 7

මෙම ජයග්‍රහණයත් සමඟින් තරගාවලියේ 5 සහ 6 වැනි ස්ථාන සඳහා වන තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා. එම තරගය එළඹෙන 27 වැනිදා කිර්ගිස්තානය සමඟින් පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ උණුසුම සඳහා රැඳෙන්න ThePapare.com සමඟින්ම.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න<<