දරුණුවට දැනෙන CAVA U23 වොලිබෝල් ප්‍රහාරය

CAVA U23 Men’s Volleyball Championship

294

බංග්ලාදේශයේ ඩකා නුවර දී පැවති වයස අවුරුදු 23න් පහළ පිරිමි වොලිබෝල් තරගාවලියේ (Central Asian Volleyball Association හෙවත් CAVA Men’s U23 Volleyball Championship) තෙවැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය දා සමත් වූවා.

මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ සාමාජිකත්වය ලත් රටවල් 14ක් ඇතුළත් වූවද ඉන් මෙම තරගාවලිය සඳහා සහභාගී වූයේ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ කිරිකිස්තානය, නේපාලය සහ සත්කාරක බංග්ලාදේශය යන රටවල්වල කණ්ඩායම් පමණයි.

ඒ අතරින් මෙවර ශූරතාව දිනා ගැනීමට සත්කාරක බංග්ලාදේශ ක්‍රීඩකයෝ සමත් වෙද්දී, අනුශූරතාව දිනා ගැනීමට කිරිකිස්ථාන ක්‍රීඩකයෝ සමත් වුනා.

තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ගමන් මඟ

ප්‍රතිවාදීන් ප්‍රතිඵලය
1 කිරිකිස්ථානය කිරිකිස්ථානයට තරග වට 3-1ක ජයක්.

ලකුණු පුවරුව 25-21, 25-22, 22-25, 25-18

2 නේපාලය ශ්‍රී ලංකාවට තරග වට 3-0ක ජයක්.

ලකුණු පුවරුව 26-24, 25-18, 25-17

3 බංග්ලාදේශය බංග්ලාදේශයට තරග වට 3-2ක ජයක්.

ලකුණු පුවරුව 25-16, 22-25, 23-25, 25-13, 15-13)

අවසන් පූර්ව තරගය
4 කිරිකිස්ථානය කිරිකිස්ථානයට තරග වට 3-0ක ජයක්.

ලකුණු පුවරුව 29-27, 25-21, 25-20

තෙවැනි ස්ථානය සඳහා වූ තරගය
5 නේපාලය ශ්‍රී ලංකාවට තරග වට 3-2ක ජයක්.

22-25, 25-19, 25-19, 20-25, 15-10

මධ්‍යම ආසියානු කලාපය තුළ වොලිබෝල් ජාතික කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අතර අවසන් යාවත්කාලීන කිරීමේ දී ශ්‍රී ලංකාවට තෙවැනි ස්ථානය හිමි ව තිබෙනවා. එහි බංග්ලාදේශය සහ කිරිකිස්ථානය සම ලකුණු ලබා ගනිමින් 6 වැනි ස්ථානයට ශ්‍රේණිගත ව සිටින අතර නේපාලයට හිමි ව ඇත්තේ 9 වැනි ස්ථානයයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව මෙම වයස් කාණ්ඩයේ තරගාවලියක් සඳහා එක් වූයේ වසර 3කට පසුවයි. අවසන් වරට ශ්‍රී ලංකාව 2019 වසරේ දී මියන්මාරයේ පැවති ආසියානු වයස අවුරුදු 23න් පහළ තරගාවලියට එක් වුනා. එම යොවුන් තරගාවලිය මෙතෙක් අවස්ථා 3ක දී පවත්වා ඇති අතර ශ්‍රී ලංකා සහභාගී වෙන්නේ ඉන් 2017 සහ 2019 වසර ද්විත්වයේ දී පමණයි.

සහභාගී වූ පළමු වසරේ තරගාවලියේ දී ඔවුන් 10 වැනි ස්ථානය දිනා ගන්නා අතර ඉන් අනතුරුව පැවති 2019 වසරේ දී අවස්ථා 2ක් ඉදිරියට පැමිණෙමින් 8 වැනි ස්ථානය දිනා ගන්නවා.

මෙවර මෙම මධ්‍යම ආසියානු වයස අවුරුදු 23න් පහළ තරගාවලියට එක් වූ අන් කිසිදු රටක් මෙතෙක් ආසියානු ශූරතාවලියක් සඳහා එක් ව නැති පසුබිමකයි අපි මේ පරාජයට මුහුණ දෙන්නේ.

තරගාවලියේ තෙවැනි ස්ථානයට පත් වුනත්, අපි කණ්ඩායමක් ලෙස සෑම තරගයක දී ම ඉතා හොඳින් සෙල්ලම් කළා. තරගාවලිය ජය ගත් බංග්ලාදේශ කණ්ඩායම හා පළමු වටයේ පැවති තරගයේ දී අපි වට 5ක් දක්වා තරගය රැගෙන ගියා. ඒ වගේ ම අනුශූරයන් වූ කිරිකිස්ථානයට තියුණු සටනක් දුන්නා. අපි මේ දේවල් කළේ ආධුනික කණ්ඩායමක් සමඟ. ඔවුන් ඔවුන්ගේ මට්ටමින් තරගාවලිය හොඳින් කළා. පුහුණුකරු ලෙස මම ඔවුන්ගේ දක්ෂතා අගය කරනවා,” කණ්ඩායමේ පුහුණුකරු චමින්ද කුමාර ජයරත්න ThePapare.com සමඟ කතා බහට එක් වෙමින් පැවසුවා.

තරගාවලියේ පළමු වටය අවසන් වන විට බංග්ලාදේශය ලකුණු 8ක් ලබා ගනිමින් පළමු ස්ථානයට ද ලකුණු 5ක් ලබා ගත් කිරිකිස්ථානය දෙවැනි ස්ථානයට ද ශ්‍රී ලංකාව ලකුණු 4ක් ලබා ගනිමින් තෙවැනි ස්ථානයට ද සහ නේපාලය තමන් සහභාගී වූ සියලු තරග පරාජය වෙමින් සිව්වැනි ස්ථානයට ද පත් වුනා.

තරගාවලියේ පළමු වටයේ දී ශ්‍රී ලංකාව කිරිකිස්ථානය සහ බංග්ලාදේශය වෙතින් පරාජයට පත් වෙන අතර නේපාලය සමඟ තරගය තරග වට 3-0කින් ජයග්‍රහණය කිරීමට සමත් වෙනවා. එම තරගයේ දී තරගයේ වීරයා සම්මානය හිමි වෙන්නේ නවීන් කෞෂල්‍ය වෙතයි.

පළමු වටයේ ලත් එම ප්‍රතිඵලත් සමඟින් ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයේ දී  නැවත හමුවෙන්නේ තරගාවලියේ පළමු තරගයේ දී හමු වූ කිරිකිස්ථානයයි. එම තරගයේ පළමු වටය ඉතා උණුසුම් ව නිමා වූව ද, දෙවැනි සහ තෙවැනි වටවල දී ජයග්‍රහණය ආසන්නය පෙනි පෙනී පරාජය වීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සිදු වුනා.

එම පරාජයත් සමඟින් අවසන් මහා තරගය ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වෙතින් දුරස් වෙන අතර තෙවැනි ස්ථානය සඳහා නේපාලය සමඟ පැවති තරගය තරග වට 5ක් දක්වා පවත්වා ගෙන යමින් ජයග්‍රහණය කිරීමට ඔවුන් සමත් වුනා. ඒ අනුව ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ දී නේපාලය පළමු වටයේ දී මෙන් ම Play Off වටයේ දී පරාජය කිරීමට සමත් වෙනවා. එය ඔවුන් මෙම තරගාවලියේ දී පෑ ඉහළ ම දක්ෂතාවයි.

තරගාවලිය සඳහා එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායම; රුචිර සම්පත් (නායක), සුජිත් තිලංක, ලහිරු මධුවන්ත, ප්‍රනීත් දිනේන්ද්‍ර, අශේන් මලින්ත, දෙනෙත් හංසන, ලහිරු ප්‍රමුදිත, සචිත මලිත්, ශානුක මධුභාෂන, දුලංජන් සංදීප, කවිශ්ක මධුශංක, නවීන් කෞෂල්‍ය.

නිලධාරීන්; ටී .ඩී. එස්. සිල්වා මහතා (කණ්ඩායම් කළමනාකරු), චමින්ද කුමාර ජයරත්න (ප්‍රධාන පුහුණුකරු), කොමදෝරු මිල්රෝයි තිසේරා (සහාය පුහුණුකරු), මොරිස් චමින්ද (අභ්‍යාසක).

කණ්ඩායමට එක් වූ ක්‍රීඩකයන් 10 දෙනෙක් ම කිසිදු ජාත්‍යන්තර තරග අත්දැකීමක් නොමැති අය. ඒ වගේ ම ඒ අතරින් වයස අවුරුදු 19න් පහළ වයස් කාණ්ඩයේ 6 දෙනෙක් ම ඇතුළත්. අපිට කණ්ඩායමක් ලෙස පුහුණු වෙන්න ලැබුණේ දවස් 10ක වගේ පමණ කාලයක්. මේ දේවල් ද අපිට මේ තරගාවලියේ මේ ස්ථානයට පත් වීමට බලපෑවා. ඒ වුනත් තරගාවලියේ දක්ෂතම ප්‍රහාරකයා ලෙසින් කවිශ්ක මධුශංක සම්මාන දිනා ගත්තා. ඒ කියන්නේ අපේ කෙටි කාලීන උත්සාහය අපතේ ගිහිල්ලා නැහැ. කොහොම වුනත් මේ තරගාවලියේ දී අපේ ක්‍රීඩකයන්ට ලැබුණ මේ ජාත්‍යන්තර තරග අත්දැකීම් ඔවුන්ට විශාල ආයෝජනයක්. ඒ ගැන පුහුණුකරු ලෙසින් මම සතුටු වෙනවා,” නැවතත් පුහුණුකරු ජයරත්න ThePapare.com පැවසුවා.

එමෙන් ම මෙම තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී කරවීමේ දී එම වයස් කාණ්ඩය නියෝජනය කළ හැකි ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් කණ්ඩායම නියෝජනය කරන යොවුන් ක්‍රීඩකයන් සිව්දෙනෙක් ම කණ්ඩායම හා එක් නොවීම දැඩි පාඩුවක් බැව් ද ඔහු පවසනවා.

ඇත්තට ම ඔවුන්ගේ අත්දැකීම් ද මෙම තරග සඳහා යොදා ගැනීමට හැකියාවක් ලැබුණා නම් මෙහි ප්‍රතිඵල මීට වඩා වෙනස් කර ගන්න අපිට හැකි වෙනවා.”

ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් කණ්ඩායම නියෝජනය කරන තරුෂ චමත්, මහේල ඉන්දීවර, ඉසුර ප්‍රභාත් සහ මලීෂ ජයවර්ධන අවුරුදු 23න් පහළ වයස් කාණ්ඩයේ සිටිය ද ඔවුන් මේ වන විට මෙරට නොසිටීම හේතුවෙන් තෝරා ගැනීමේ සංචිත සඳහා එක් වී නැහැ.

එබැවින් ඔහු තව දුරටත් අදහස් දක්වන්නේ එවැනි ක්‍රීඩකයන් මෙරට රඳවා ගැනීමට හෝ ජාත්‍යන්තර තරග පැවතෙන කාලයේ දී ඔවුන්ගේ සහභාගීත්වය මෙරට ට ලබා ගැනීමට හැකි වැඩ පිළිවෙළක් හඳුන්වා දිය යුතු බවයි.

ඔවුන් තාවකාලිකව හෝ මෙරට හැර යන්නේ ඔවුන්ගේ ආර්ථික තත්ත්වයන් ගැන හිතලා. අපි කාටවත් ඒක නතර කරන්න බැහැ. නමුත් මෙවැනි ජාත්‍යන්තර තරග පවතිද්දී ඔවුන් මෙරට ට ගෙන්වීමට හැකියාවක් අපිට තිබිය යුතුයි. ක්‍රීඩකයන්ට ද පාඩුවක් නොවන පරිදි එවන් ජාතික සැලැස්මක් හඳුන්වා දිය යුතුයි. ක්‍රිකට් ක්‍රීඩාවේ දී ඒ තත්ත්වය තියෙනවා නම් අපිට ඒ තත්ත්වය ඇති කරන්න බැරි කමක් නැහැ නේ?” ජයරත්න විමසනවා.

වෙනස් විය යුතු දේ වෙනස් විය යුතුයි. එහි තර්කයක් නොමැත. නමුත් තරග පරාජයකට පසු කෙරෙන විමර්ශනයක දී ම පමණක් මෙම තොරතුරු සමාජ ගත වීම දෝෂයක් සේ අප දකිමු.

ඇතැම් විට චමින්දලා සේ ම වොලිබෝල් ක්‍රීඩාවේ දියුණුව උදෙසා පිඹුරුපත් සකසන බොහෝ දෙනෙක් විසින් කෙරුණු මෙවැනි යෝජනා මීට පෙර ද අදාළ වගකිව යුත්තන්ගේ අවධානයට ලක් කර තිබිය හැකියි. එහෙත් ඊට නිසි ප්‍රතිකර්මයක් මෙතෙක් නොලැබී, ඒවා එහි ම “ගල්” වී ඇත්නම් නැවත වරක් සියල්ල ගොඩ ගැනීම මෙරට ජාතික ක්‍රීඩාව ගොඩ ගැනීමට දඟලන සෑම කෙනෙක්ගේ ම අභිප්‍රාය විය යුතුයි.

මෙම පරාජය අපේ වොලිබෝල් ක්‍රීඩාවේ විශාල පරාජයක් ලෙසින් ඇතැම් අය දකිනවා ඇති. ඒකෙ වරදක් නැහැ. මොකද පිටත සිට බලන කෙනෙක්ට පෙනෙන්නේ ඒ පරාජය පමණක් නිසා. එහෙත් අපේ කණ්ඩායම අපිට මීට පෙර සංචිත ගත කරන්න තිබුණා නම්.., අපේ ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයෝ මේ කණ්ඩායමට ඇතුළත් කර ගැනීමට හැකි ක්‍රමවේදයක සිටියා නම්.., මේ තරග ප්‍රතිඵල මීට වඩා වෙනස් වෙනවා අනිවාර්යයි.

නමුත් අවාසනාවකට ඒ දේවල් එහෙම වුනේ නැහැ. එහෙත් අපේ දක්ෂතා මධ්‍යම ආසියානු මට්ටමේ ඉහළින් ශ්‍රේණිගත කිරීමට අපට හැකියාව තියෙනවා. තරගාවලියේ දක්ෂතම ප්‍රහාරකයා ලෙසින් සම්මාන දිනා ගත්තේ අපේ ක්‍රීඩකයෙක්. අපිට ඒ ශක්තිය ම ඇති ඉදිරිය ගැන හිතන්න. ඒ ගොඩේ අපි සිටිනවා. ඒ වෙනුවෙන් අපි මහන්සි වෙනවා,” කණ්ඩායමේ පුහුණුකරු චමින්ද කුමාර ජයරත්න ThePapare.com සමඟ පැවසුවා.

මේ විශ්වාසයට ජීවය එක් කිරීම වොලිබෝල් ලැදී සෑම කෙනෙක්ගේ ම වගකීමක්. එය අපේ ජාතික ක්‍රීඩාව සෞභාග්‍යමය යුගයක් කරා නැවත ගෙන යෑමට කරනු ලබන යුග මෙහෙවරක් ලෙසින් අපි දකිමු.

ඒ ගමන එතරම් ම අමාරු නොව බැව් ThePapare.com අපගේ විශ්වාසයයි.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න <<