ශ්‍රී ලංකාව හමුවේ කසකස්තානයට අසීරු ජයග්‍රහණයක්

CAVA කාන්තා වොලිබෝල් අභියෝගතා කුසලානය 2023

200

CAVA කාන්තා වොලිබෝල් අභියෝගතා කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සහභාගී වූ දෙවැනි තරගයෙන්, කලකට අමතක නොව තරග අවසානයක් සමඟින්, තරග වට 3/1ක් ලෙස පරාජය වන්නට ශ්‍රී ලංකාවට සිදු වුනා. ඒ කසකස්තාන ක්‍රීඩිකාවන්ට හොඳ අභියෝගයක් ලබා දෙමිනුයි.

ඊයේ (22) නේපාලයේ කත්මණ්ඩු අගනුවර දී ආරම්භ වූ තරගාවලියේ සමාරම්භක තරගය ශ්‍රී ලංකාව සහ උස්බෙකිස්තානය අතර පැවැත්වූ අතර එහි දී තරග වට 3/0ක් ලෙස උස්බෙකිස්තානය ජයග්‍රහණය වාර්තා කරන්නට සමත් වුනා.

ඒ අනුව පරාජයක් සමඟින් ශ්‍රී ලංකාව අද (23) තරගය සඳහා අවතීර්ණ වෙද්දී, මාලදිවයින තරග වට 3/0ක් ලෙස පරාජය කරමින් කසකස්තානය ජයග්‍රාහීව අද තරගය සඳහා අවර්ණ වුනා.

දහවල් 12:15ට පමණ ආරම්භ වූ මෙම තරගයේ දී පළමුවෙන් ලකුණු පුවරුව ක්‍රියාත්මක කරන්නේ කසකස්තාන ක්‍රීඩිකාවන් විසිනුයි. ශ්‍රී ලංකාව දෙසින් පිරිනැමුණු පන්දුව හුවමාරු කිරීම් කිහිපයකට පසුව සෙනෙවිරත්න විසින් නැවතත් ආපසු ප්‍රතිවාදීන් දෙසට යොමු කරන්නට සූදානම් වුවත් ඇයට සාර්ථකව පන්දුව හරවා යවන්නට නොහැකි වුනා. ඒ සමඟින් ඇය ආබාධයකට ලක් වුනා

ප්‍රතිවාදීන් ලකුණු 3ක් ලබා සිටින විට ශ්‍රී ලංකාව ලකුණු රැස් කිරීම ආරම්භ කළ අතර ශ්‍රී ලංකාව ලකුණු 3ක් 4ක් පිටුපසින් සෑම විටම පසුවුනා. පළමු වටයේ අවසාන භාගයේ දී 15-20ක් ලෙස කසකස්තාන ක්‍රීඩිකාවන් පෙරමුණ ගෙන සිටි අතර ශ්‍රී ලංකාවට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින් 16-25ක් ලෙස තරග වටය ජයග්‍රහණය කරන්නට කසකස්තාන ක්‍රීඩිකාවන් සමත් වුනා.

දෙවැනි වටයට ද සාර්ථකව ආරම්භය ලබා ගත් කසකස්තාන ක්‍රීඩිකාවන් ලකුණු පුවරුව ක්‍රියාත්මක කරන්නට සමත් වුනා. ඉන්පසු ශ්‍රී ලංකාවත් ලකුණු රැස් කරන්නට පටන් ගත්තේ 1-1ක් ලෙස ලකුණු පුවරුව දැක්වෙමිනුයි.

මෙතෙක් වේලා කරට කර පැවති තරගයේ ලකුණු සටහන 9-9ක් ලෙස සමව තිබූ අවස්ථාවේ දී ප්‍රථම වරට මෙම තරගයේ දී පෙරමුණ ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුනේ 10-9ක් ලෙසයි. ඉන් අනතුරුව නැවතත් කරට කර ලකුණු සම වෙමින් ඉදිරියට ඇදී ගිය දෙවැනි වටය නිමා වන්නේ 26-28ක් ලෙස ලකුණු දෙකකින් කසකස්තාන ක්‍රීඩිකාවන් ජයග්‍රහණය වාර්තා කරමිනුයි.

තීරණාත්මක තෙවැනි වටයේ දී ද ලකුණු පුවරුව සක්‍රීය කරන්නේ කසකස්තාන ක්‍රීඩිකාවන් විසිනුයි. නමුත් ඉන් මිනිත්තුවක් පමණ ගත වෙද්දී ශ්‍රී ලංකාවත් ලකුණු රැස් කරමින් තරගයට ප්‍රවිෂ්ට වුනා.

ඒත් සමඟින් කරට කර ඉදිරියට ඇදුණු තරගයේ වරෙක 7-4ක් ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පෙරමුණේ පසු වූ අතර ලකුණු 5ක් දක්වා පරතරය වැඩි කර ගනිමින් 13-8ක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන් පසු වුනා.

පෙර තරග වටවලට සාපේක්ෂව ඉතාමත් දක්ෂ ලෙස ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් හමුවේ කසකස්තානයෙන් ජයග්‍රහණය ඈතට යන බවක් දක්නට ලැබුණේ 20-12ක් ලෙස ශ්‍රී ලංකාව දැවැන්ත පරතරයක් නිර්මාණය කර ගැනීමට සමත් වීමත් සමඟයි. අවසානයේ තෙවැනි වටය අවසන් වුනේ 25-18ක් ලෙස ශ්‍රී ලංකාව තරග වටය ජයග්‍රහණය කිරීමත් සමඟිනුයි.

කසකස්තානයට ඉතාමත් තීරණාත්මක වූ සිව්වැනි වටයේ දී ද ලකුණු පුවරුව ආරම්භ කරන්නේ ඔවුන් විසිනුයි. ශ්‍රී ලංකාවත් පෙර වටයේ දී මෙන් මිනිත්තුවක් ගත වෙන්නටත් පෙර ලකුණු වාර්තා කිරීම ආරම්භ කළා. තියුණු ආරම්භයක් සමඟින් 1-6ක් ලෙස කසකස්තාන ක්‍රීඩිකාවන් ඉදිරියට ඇදෙන්නට වූ නමුත්, ශ්‍රී ලංකාව හොඳ හඹා ඒමක් වාර්තා කරමින් 12-13ක් දක්වා පරතරය අඩු කර ගන්නට සමත් වුනා.

ඉන්පසුව නැවතත් ලකුණු පරතරය වැඩි කර ගන්නට කසකස්තාන ක්‍රීඩිකාවන් සමත් වුනත්, සාර්ථකව ඔවුන්ව හඹා එන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුනේ 23-23ක් ලෙස ලකුණු පුවරුව සම තත්වයට රැගෙන එමිනුයි.

ඉන් අනතුරුව 24-24ක් සිට 27-27ක් දක්වා ඉතා තියුණු ලෙස ඉදිරියට ඇදුණු කණ්ඩායම් දෙකෙන් අවසානයේ 27-29ක් ලෙස ජයග්‍රහණය වාර්තා කරන්නට කසකස්තාන ක්‍රීඩිකාවන් සමත් වුනා.

පළමු වටය දෙවැනි වටය තෙවැනි වටය සිව්වැනි වටය
කසකස්තානය 25 28 18 29
ශ්‍රී ලංකාව 16 26 25 27

B කාණ්ඩයෙන් තරග කරන ශ්‍රී ලංකාව මූලික වටයේ සහභාගී වන තෙවැනි තරගය හෙට (24) මාලදිවයින සමඟින් පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ උණුසුම සඳහා රැඳෙන්න ThePapare.com සමඟින්.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න<<