පසුගිය දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා අවසාන මොහොතේ කණ්ඩායමට ඇතුළත් වී එහි දී රන් පදක්කම් දෙකක් ජයග්‍රහණය කරමින් මෙරට මලල ක්‍රීඩාවට දකුණු ආසියාවේ විශාල ගෞරවයක් දිනා දෙන්නට දායකත්වය සැපයූ ඇය නමින් නිලානි රත්නායක ය.

Photo Story- වාර්තා පොත් අලුතින් ලියවන දිගුදුර ශූරිය

1990 වසරේ රත්නපුර ප්‍රදේශයේ උපත ලැබූ නිමාලි රත්නායක බඹරකොටුව විද්‍යාලයෙන් මලල ක්‍රීඩාවට අත්පොත් තැබූ අතර පාසල් වියේ කැපී පෙනෙන දස්කම් දැක්වීමෙන් අනතුරුව යුද හමුදාව සමඟින් අත්වැල් බැඳගත් ඈ, සිය මලල ක්‍රීඩා දිවියේ දෙවන ගමන අරඹන්නේ මෙරට දිගු දුර ධාවනයට තවත් වීර ක්‍රීඩිකාවක් එකතු කරමිනි.

මෙවර Photo Story ලිපිය වෙන් වන්නේ නිලානි රත්නායක දකුණු ආසියානු රන් පදක්කමක් දක්වා ආ ගමනේ ThePapare.com කැමරා කාචයේ සටහන් වූ සේයා රූ වෙනුවෙනි. 

1.පාසල් වියේ සිටම ක්‍රීඩාවේ දස්කම් 

බඹරකොටුව විද්‍යාලයෙන් මලල ක්‍රීඩාවට පිවිසි නිලානි පාසල් ක්‍රීඩා පිටියේ ඉතා කැපී පෙනෙන දස්කම් දක්වමින් ජයග්‍රහණ රැසක් දිනා ගැනීමට සමත්වනවා.

2. ජාතික මලල ක්‍රීඩා පිටියේ ඉහළ දස්කම් දැක්වීම 

ශ්‍රී ලංකා යුද හමුදාව සමඟ එකතු වීමෙන් අනතුරුව මලල ක්‍රීඩා පිටියේ දිගින් දිගටම දස්කම් දැක්වීමට නිලානි සමත් වූ අතර 2016 වසරේ පැවති ජාතික මහා ක්‍රීඩා උළෙලේ මීටර් 5000 ඉසව්ව මිනිත්තු 16:17.82ක කාලයකින් අවසන් කරමින් රන් පදක්කම සහ 1500 ඉසව්වේ රිදී පදක්කමත් දිනා ගැනීමට ඇය සමත් විය.

3. ප්‍රධාන ඉසව්වේ ජාතික වාර්තාව සියතට ගැනීම 

දිගුදුර ධාවන පිටියේ දිගින් දිගටම දස්කම් දැක්වීමෙන් අනතුරුව 2018 වසරේ පැවති ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ දී සිය ප්‍රධාන ඉසව්ව වන මීටර් 3000 බාධක දිවීමේ ඉසව්ව නියෝජනය කළ ඇය එම ඉසව්ව මිනිත්තු 9:46.76ක කාලයකින් අවසන් කරමින් ජාතික වාර්තාවක් පිහිටුවීමට ද සමත් විය.

Photo Story- මලල ක්‍රීඩාවේ අනාගතයට කැපවෙන පඬුවස්නුවර පසිඳු

4. රණවිරු පිටියේ ඉහළ දස්කම් 

2019 වසරේ පැවති “56th Army Athletics Championships” නියෝජනය කළ නිලානි එහි මීටර් 5000 ඉසව්ව 16:17.82ක කාලයකින් අවසන් කරමින් එම ඉසව්වට පිහිටුවා තිබූ වසර 16ක් පැරණි වාර්තාවක් බිඳ හෙළීමට සමත් විය. 

5. බාධක මැද ජාතික කිරුළ රැකගැනීම  

අසනීප තත්වයක් සමඟින් පසුගිය වසරේ පැවති ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 3000 බාධක දිවීමේ ඉසව්ව සඳහා තරග කළ ඇය එම ඉසව්ව 9:50.76ක කාලයකින් අවසන් කරමින් ජාතික කිරුළ තවදුරටත් රැක ගැනීමට සමත් විය.

Photo Story – ලාංකීය මලල ක්‍රීඩාවට පෑයූ නව අරුණැල්ල

6. දකුණු ආසියානු සිහින බොඳ වීම 

2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ තම සුපුරුදු ඉසව්ව වන මීටර් 3000 ඉසව්ව අවලංගු වීම නිසාවෙන් එම තරගාවලිය සඳහා තේරී පත්වීමේ බලාපොරොත්තුවෙන් 97 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 5000 ඉසව්ව නියෝජනය කළ නිලානි එහි මුල් වට කිහිපයේ දී හිරුණි විජයරත්න සමඟින් කරට කර සටනක නිරත වූවත්, ආබාධයක් නිසාවෙන් ඇයට තරගයෙන් ඉවත් වීමට සිදු විය.

7. ලැබූ අවස්ථාව රනින් සාර්ථක කරගැනීම 

ශ්‍රී ලංකා මීටර් 1500 ජාතික ශූරිය වන නිමාලි ලියනආරච්චි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට දිනක් තිබිය දී රිය අනතුරකට ලක්වීම නිසාවෙන් එම ඉසව්ව නියෝජනය කිරීමේ අවස්ථාව නිලානි රත්නායකට ලබා දීමට තීරණය කළ අතර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී මීටර් 1500 ඉසව්ව 4:34.34ක කාලයකින් අවසන් කරමින් රන් පදක්කම දිනා ගැනීමට නිලානි සමත් විය. 

8. හිරුණිගේ විශ්වාසයට සාධාරණයක් ඉටු කිරීම 

2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 5000 ඉසව්ව නියෝජනය කිරීමට තේරී පත්වූ හිරුණි විජයරත්න තම ඉසව්ව නියෝජනය කිරීමේ අවස්ථාව නිලානි රත්නායකට ලබා දීමට තීරණය කළ අතර එම තීරණයට සාධාරණයක් ඉටු කරමින් මීටර් 5000 ඉසව්ව මිනිත්තු 16:55.18ක කාලයකින් අවසන් කරමින් රන් පදක්කම දිනා ගැනීමට නිලානි සමත් විය.

ලබන වසරේ පැවැත්වීමට නියමිත 32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ගැනීමට ඉතා ආසන්නයෙන්ම සිටින ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව නිලානි රත්නායක වන අතර එම තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගනිමින් මෙරට මලල ක්‍රීඩාවට ඔලිම්පික් පදක්කමක් ගෙන ඒමට ඇයට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායි ThePapare.com අප ප්‍රාර්ථනා කරන්නෙමු.

තවත් Photo Story ලිපියක් සමඟින් හමුවෙමු. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් මලල ක්රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්රීඩා පිටුවට <<