ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මාලදිවයින් ක්‍රීඩිකාවන් පරාජය කරයි

CAVA කාන්තා වොලිබෝල් අභියෝගතා කුසලානය 2023

150

මාලදිවයින් ක්‍රීඩිකාවන් පරාජය කරමින් 2023 CAVA කාන්තා වොලිබෝල් අභියෝගතා කුසලාන තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අද (24) සමත් වුනේ තරග වට 3/0ක් ලෙස තරගය අවසන් කරමිනුයි.

ඉකුත් සඳුදා (22 වැනිදා) නේපාලයේ කත්මණ්ඩු නුවර දී ආරම්භ වූ මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් තෙවැනි තරගය මෙය වූ අතර මින් පෙර පැවති තරග දෙකේ දී උස්බෙකිස්තානය හමුවේ තරග වට 3/0ක් ලෙසත්, කසකස්තානය හමුවේ තරග වට 3/1ක් ලෙසත් පරාජය වන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සිදු වුනා.

නේපාලය ද අද පැවති තරගයට අවතීර්ණ වුනේ කසකස්තානය සහ උස්බෙකිස්තානය හමුවේ පරාජය වෙමිනුයි. ඒ තරග වට 3/0ක් ලෙසයි.

ශ්‍රී ලංකා වේලාවෙන් සවස 5 පසු වී ආරම්භ වූ මේ තරගයේ දී ප්‍රථමයෙන්ම ලකුණු පුවරු සක්‍රීය කරන්නේ මාලදිවයින් ක්‍රීඩිකාවන් විසිනුයි. ඉන් අනතුරුව ලකුණු වාර්තා කරන්නට පටන් ගත් ශ්‍රී ලංකාව හොඳ පරතරයක් පවත්වා ගනිමින් ලකුණු රැස් කරමින් ඉදිරියට ඇදෙන්නට වූ නමුත්, මාලදිවයින් ක්‍රීඩිකාවන් ද ශ්‍රී ලංකාවට හොඳ අභියෝගයක් වෙමින් වරෙක 14-14ක් ලෙස ලකුණු පුවරුව සමකරන්නට සමත් වුනා.

නමුත් ඉන් අනතුරුව ලකුණු පිට ලකුණු රැස් කර ගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් වඩාත් ආක්‍රමණශීලී ලෙස ඉදිරියට ඇදෙන්නට වූ අතර මාලදිවයින් ක්‍රීඩිකාවන් තවත් ලකුණු 4ක් පමණක් ලබා ගනිද්දී ශ්‍රී ලංකාව සාර්ථකව ප්‍රථම වටය නිමා කළේ පහසුවෙන් ලකුණු 25 සීමාව ඉක්වමා යමිනුයි.

පළමු වටයේ දී ලබා ගත් ඒ ජයග්‍රාහී රිද්මය දෙවැනි වටයටත් රැගෙන යමින් පළමුවෙන්ම ලකුණු පුවරුව ක්‍රියාත්මක කරන්නට සමත් වුනේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් විසිනුයි. මාලදිවයින් ක්‍රීඩිකාවන් ද ඉන් අනතුරුව ලකුණු රැස් කිරීම ආරම්භ කළ අතර තරග වටයේ පළමු මිනිත්තු කිහිපයේ දී කණ්ඩායම් දෙකම කරට කර ක්‍රීඩා කරනු දක්නට ලැබුණා.

කෙසේ නමුත් දෙවැනි වටය මැද දී දැවැන්ත පරතරයක් ගොඩ නගා ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුනේ 12-6ක් ලෙස ඉදිරියට ඇදෙමිනුයි. ඉන් අනතුරුව 19-9ක් දක්වා ලකුණු පරතරය වැඩි කර ගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ප්‍රතිවාදීන්ට පීඩනයක් එල්ල කරන්නට සමත් වෙද්දී, දෙවැනි වටයේ ජයග්‍රහණය මාලදිවයිනෙන් ඈතට යනු දක්නට ලැබුණා. ඒ අනුව 25-13ක් ලෙස දෙවැනි වටය අවසන් වන්නේ තෙවැනි වටය ඉතාමත් තරගකාරී කරමිනුයි.

තෙවැනි වටයේ දීත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ප්‍රථමයෙන් ලකුණු රැස් කිරීම ආරම්භ කළ අතර පෙර තරග වට සේම සෑම විටම පරතරයක් ගොඩ නගා ගනිමින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් පසු වුනා. කෙසේ නමුත් ශ්‍රී ලංකාව සාර්ථකව හඹා එමින් 9-9ක් දක්වා ලකුණු පුවරුව සම කරන්නට ප්‍රතිවාදීන් සමත් වූ අතර තරගයේ පළමු වතාවට 9-10ක් ලෙස ශ්‍රී ලංකාව අභිබවා යන්නට ප්‍රතිවාදීන් සමත් වුනා.

ඉන් අනතුරුව තරගය ඉතාමත්  තියුණු මුහුණු වරක් ගත්තේ කණ්ඩායම් දෙකම ලකුණු පුවරුව සම කරමින් ඉදිරියට යෑමත් සමඟයි. නරඹන්නන්ට ඉතාමත් ආශ්වාදජනක අත්දැකීමක් ලබා දෙමින් ඉදිරියට ඇදුණු තෙවැනි වටය අවසන් වූයේ 26-24ක් ලෙස ශ්‍රී ලංකාව ජයග්‍රහණය වාර්තා කරමිනුයි. ඒ සමඟින් තරග වට 3/0ක ජයක් වාර්තා කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුනා.

පළමු වටය දෙවැනි වටය තෙවැනි වටය
ශ්‍රී ලංකාව  25 25 26
මාලදිවයින 18 13 24

මෙම ජයග්‍රහණයත් සමඟින් ශ්‍රී ලංකාව B කාණ්ඩයේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් වුනා. තරගාවලියේ සිව්වැනි දිනය හෙට (25) ක්‍රියාත්මක වීමට නියමිත අතර එදින ශ්‍රී ලංකාව, A කාණ්ඩයේ සිව්වැනි ස්ථානය දිනා ගත්, බංග්ලාදේශය සමඟින් තරග වැදීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම සඳහා රැඳෙන්න ThePapare.com සමඟින්.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න<<