උස්බෙකිස්තානයෙන් ශ්‍රී ලංකාවට සැර අභියෝගයක්

CAVA කාන්තා වොලි​බෝල් අභියෝගතා කුසලානය 2023

747
CAVA Women's Volleyball Challenge Cup 2023

නේපාලයේ කත්මණ්ඩු අගනුවර දී අද (22) ඇරඹි මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලන (Central Asian Volleyball Association – CAVA) කාන්තා වොලිබෝල් අභියෝගතා කුසලාන තරගාවලියේ සමාරම්භක තරගයෙන් ශ්‍රී ලංකාව පරාජය කරමින් ජයග්‍රහණය වාර්තා කරන්නට උස්බෙකිස්තාන ක්‍රීඩිකාවන් සමත් වුනා.

ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 9.15ට පමණ ආරම්භ වූ මෙම තරගයේ යුද හමුදා ක්‍රීඩිකා කාංචනා චතුරානි විසින් පිරිනැමුණු පන්දුව ශ්‍රී ලංකා ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමින් පිටියෙන් ඉවතට ඇදී ගියේ හුවමාරු කිරීම් කිහිපයකට පසුවයි.

ඒ සමඟ පිට පිට ගෝල 4ක් වාර්තා කරන්නට ශ්‍රී ලංකාව සමත් වෙද්දී උස්බෙකිස්තාන ලකුණු පුවරුව ක්‍රියාත්මක වන්නේ ඉන් අනතුරුවයි. පළමු Time out අවස්ථාව වන තෙක් 6-1ක් ලෙස පෙරමුණේ සිටි ශ්‍රී ලංකාව සාර්ථකව හඹා එන්නට ප්‍රතිවාදීන් සමත් වුනේ 6-6ක් ලෙස ලකුණු පුවරුව සමකරමිනුයි.

ඉන් අනතුරුව කරට කර ඇදී ගිය ප්‍රථම වටයේ දී 14-9ක් ලෙස නැවතත් පෙරමුණ ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වූ නමුත් 19-19ක් ලෙස නැවතත් සාර්ථකව ශ්‍රී ලංකාව හඹා එන්නට උස්බෙකිස්තානය සමත් වුනා. 20-20 සිට 25-25ක් දක්වා කරට කර ඇදී ගිය පළමු වටය අවසන් වුනේ 25-27ක් ලෙස උස්බෙකිස්තානය ජයග්‍රහණය වාර්තා කරමිනුයි.

දෙවැනි වටයේ දී උස්බෙකිස්තාන දෙසින් ඉහළ ගිය පන්දුව සාර්ථකව ලකුණු බවට පරිවර්තනය කරන්නට ශ්‍රී ලංකා නායිකාව වන යුද හමුදා ක්‍රීඩිකා තිළිණි වාසනා සමත් වුනා. 6-1ක් දක්වා පෙරමුණේ පසු වූ ශ්‍රී ලංකාව නැවත වරක් සාර්ථකව හඹා එන්නට උස්බෙකිස්තාන ක්‍රීඩිකාවන් සමත් වුනේ ලකුණු පුවරුව 11-11ක් වන විටයි.

14-14ක් ලෙස සමව පැවති තරගය 15-20ක් ලෙස ලකුණු 5ක පරතරයක් දක්වා වැඩි කර ගැනීමට උස්බෙකිස්තාන ක්‍රීඩිකාවන් සමත් වුනේ ශ්‍රී ලංකාවට ප්‍රබල අභියෝගයක් එල්ල කරමිනුයි. ඉන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ප්‍රතිවාදීන්ව හඹා යෑමට උත්සාහ කළත් අවසානයේ ලකුණු 5ක පරතරයකින් දෙවැනි වටය ජයග්‍රහණය කරන්නට උස්බෙකිස්තාන ක්‍රීඩිකාවන් සමත් වුනේ 20-25ක් ලෙසයි.

දෙපිලටම ඉතාමත් තීරණාත්මක තෙවැනි වටය ආරම්භ වුනේ ද ශ්‍රී ලංකාව පළමුවෙන් ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමිනුයි. අනෙක් වට දෙකට සාපේක්ෂව වඩාත් තියුණු ආරම්භයක් පැවති මෙම තරගයේ දී කණ්ඩායම් දෙකම ඉතාම කරට කර ක්‍රීඩා කරනු දක්නට ලැබුණේ ලකුණු පරතරය සෑම විටම සමව පවතිමිනුයි.

නමුත් ඉන්පසුව 7-12ක් ලෙස සාර්ථකව ලකුණු 5ක පරතරයක් ගොඩ නගා ගන්නට උස්බෙකිස්තාන ක්‍රීඩිකාවන් සමත් වුනේ ශ්‍රී ලංකාවට දැඩි පීඩනයක් එල්ල කරමිනුයි. ශ්‍රී ලංකාව එක් අවස්ථාවක දී පරතරය 2ක් දක්වා අඩු කරගන්නට සමත් වුනත්, නැවතත් සුපිරි අභියෝගයක් එල්ල කළ උස්බෙකිස්තානය 11-17ක් දක්වා ලකුණු පරතරය තවත් ඉහළ නංවා ගන්නට සමත් වුනා.

කෙසේ නමුත් තරගයේ අවසන් භාගය කිට්ටු වෙද්දී ශ්‍රී ලංකාවෙන් තරගය ගිලිහී ගොස් ඇති බවක් දිස්වුනේ ලකුණු පුවරුවේ 13-20ක් ලෙස උස්බෙකිස්තානය ආධිපත්‍ය පතුරුවා සිටින විටයි. එතැන් සිට උස්බෙකිස්තානය කිසිදු අනුකම්පාවක් නොදක්වමින් ශ්‍රී ලංකාවට පහර පිට පහර එල්ල කරන්නට පටන් ගත්තේ ලකුණු 11ක් සමඟින් 14-25ක් ලෙස තරගය ජයග්‍රහණය කරමිනුයි.

පළමු වටය දෙවැනි වටය තෙවැනි වටය
උස්බෙකිස්තානය 27 25 25
ශ්‍රී ලංකාව  25 20 14

තරගාවලියේ සමාරම්භක දිනයේ පැවති සෙසු තරගවල ප්‍රතිඵල.

ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි තරගය හෙට (23) උදෑසන 9.45ට කසකස්තානය සමඟින් පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ උණුසුම සඳහා රැඳෙන්න ThePapare.com සමඟින්.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න<<