Cardiff අර්ධ මැරතන් තරගය නැවත වරක් කල්යයි

141
Cover Courtesy: HUW EVANS AGENCY

මේ දිනවල පැතිර යන කොරෝනා වසංගතය නිසාවෙන් ලබන වසරේ මාර්තු මාසය දක්වා කල්දැමූ Cardiff අර්ධ මැරතන් තරගය, මතුව ඇති තත්වය සැලකිල්ලට ගනිමින් ලබන වසරේ (2021) ඔක්තෝබර් මාසය දක්වා කල්දැමීමට එහි සංවිධායකයින් තීරණය කර ඇත.

මෙම තරගාවලිය මෙම වසරේ ඔක්තෝබර් මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබූ නමුත් කොරෝනා වසංගත ව්‍යාප්තිය නිසාවෙන් මෙවර තරගය නොපවත්වා එය ලබන වසරේ මාර්තු මාසයේ දී පැවැත්වීමට මීට පෙර තීරණය කර තිබුණි.

ඒ අනුව මෙම තරගය දෙවන වරටත් කල් දැමීමේ තීරණය පිළිබඳව දැනුම් දෙමින් එහි සංවිධායකයින් ප්‍රකාශ කර සිටියේ මෙම වයිරසයේ බලපෑම නිසාවෙන් රෝගී වන පුද්ගලයන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන බැවින් මෙවැනි තරගාවලියක් මාර්තු මාසයේ දී පැවැත්වීමට නොහැකි බව ඔවුන්ට වැටහී ගිය බවයි.

“පසුගිය කාලසීමාවන් හීදී එක්සත් රාජධානිය තුළ තිබූ මෙම වයිරස ව්‍යාප්තිය වැළැක්වීමේ නීති ලිහිල් වීම සහ යම් යම් ක්‍රමයන් ඔස්සේ මහජන සහභාගීත්වය ඉතා ආරක්ෂාකාරීව සිදු කළ හැකි බව දුටු හෙයින් අප පසුගිය මාස කිහිපයේ දී සුබවාදීව බලාගෙන සිටියා.

නමුත් මේ දිනවල නැවත වරක් මෙම වයිරසයේ ව්‍යාප්තිය ඉහළ යාම නිසාවෙන් සංචරණ සීමාවන් ආදිය තර කිරීම සහ මතුව ඇති කැලඹිලිකාරී වාතාවරණය සමඟින් මෙවැනි විශාල තරගාවලියක් මාර්තු මාසය වන විට පැවැත්වීමට නොහැකි වනු ඇති බව පැහැදිලි විය.

තවත් මලල ක්‍රීඩා පුවත්:

එබැවින් තත්වයන් සැලකිල්ලට ගනිමින් ඉතාමත් කනගාටුවෙන් යුක්තව Cardiff විශ්වවිද්‍යාලය මගින් සංවිධානය කරන Cardiff අර්ධ මැරතන් තරගයේ 18 වැනි අදියර 2021 ඔක්තෝබර් 03 වැනිදා ඉරිදා දක්වා කල් දැමීමට තීරණය කළ බව දැනුම් දීමට කැමතියි”  යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

වාර්ෂිකව පැවැත්වෙන කිලෝමීටර් 21ක දුරින් යුක්ත මෙම තරගය සඳහා තරගකරුවන් 25,000කට අධික සංඛ්‍යාවක් සහභාගි වීමට නියමිතව ඇති අතර එය දැක ලබාගැනීම සඳහා 100,000කට ආසන්න ප්‍රේක්ෂකයන් පිරිසක් ද වාර්ෂිකව පැමිණෙනු ඇත.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<