කාන්තා අර්ධ මැරතන් ලෝක වාර්තාව බිඳ වැටේ

336

පෝලන්තයේ Gdynia හීදී අද (17) පැවති ලෝක ශූරතා අර්ධ මැරතන් තරගාවලියේ කාන්තා කාණ්ඩයේ තරගයේ දී, තමන් විසින්ම පිහිටුවා තිබූ කාන්තා අර්ධ මැරතන් ලෝක වාර්තාව බිඳ හෙළමින් ප්‍රථම ස්ථානය දිනා ගන්නට සුපිරි කෙන්යානු ක්‍රීඩිකා Peres Jepchirchir සමත් විය.

අවසානය දක්වාම ඉතාමත් තියුණු මුහුණුවරක් ගත් එම තරගය පැය 1:05:16ක කාලයකින් අවසන් කිරීමට ඇය සමත් වූ අතර ඇය දැක්වූ දක්ෂතාවය, පසුගිය සැප්තැම්බර් මාසයේ දී Prague අර්ධ මැරතන් තරගය පැය 1:05:34ක කාලයකින් අවසන් කරමින් ඇය විසින්ම පිහිටුවා තිබූ අර්ධ මැරතන් කාන්තා කාණ්ඩයේ (women-only half marathon) ලෝක වාර්තාව බිඳ හෙලූ කාලයක් ලෙස සටහන් විය.

එම තරගය පැය 1:05:18කින් අවසන් කරමින් අර්ධ මැරතන් ඉසව්වේ යුරෝපා වාර්තාව තමන් සතු කරගන්නට ජර්මන් ජාතික Melat Yisak Kejeta සමත් වූ අතර තරගය පැය 1:05:19ක කාලයකින් අවසන් කළ ඉතියෝපියානු ක්‍රීඩිකා Yalemzerf Yehualaw තෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් විය.

තරගය ආරම්භයේ පටන්ම, අර්ධ මැරතන් ඉසව්වේ මිශ්‍ර කාණ්ඩයේ කාන්තා ලෝක වාර්තාවට හිමිකම් කියන ඉතියෝපියානු ක්‍රීඩිකා Ababel Yeshaneh තරගයේ පෙරමුණෙන් සිටි ක්‍රීඩක කාණ්ඩයේ රැඳෙමින් Peres Jepchirchir ඇතුළු ක්‍රීඩිකාවන් සියල්ලටම ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට සමත් වූ නමුත් තරගයේ 54 මිනිත්තුවේ දී අවාසනාවන්ත ලෙස ඇදවැටීම නිසාවෙන් පසුබෑමට ලක්විය.

පසුව Jepchirchir, Kejeta සහ Yalemzerf එකිනෙකාට නොදෙවෙනි ලෙස තරග වදිමින් ඉදිරියට ඇදෙන්නට වූ නමුත් තරගයේ අවසාන මීටර් කිහිපයේ දී සිය සුපුරුදු රිද්මයට අනුගත වෙමින් තරගය ජය ගැනීමට Jepchirchir සමත් වූ අතර තරග අවසානයේ දී සමබරතාව ගිලිහී යාම නිසාවෙන් Yalemzerf හට තෙවැන්නා ලෙස තරගය නිමා කිරීමට සිදු විය.

මෙම තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ දිගුදුර ධාවන ශූරී හිරුණි විජයරත්න තරගයේ අර්ධයකට අධික දුරක් සටන්කාමී ධාවන රටාවක් පෙන්නුම් කරමින් තරග කරන්නට සමත් වූ නමුත් තරගය නිමා කිරීමට ඇය අපොහොසත් විය.

උගන්ඩා ජාතික යොවුන් මලල ක්‍රීඩක Jacob Kiplimo ලෝක අර්ධ මැරතන් ශූරතාවයේ පිරිමි කාණ්ඩයේ තරගය තරගාවලි වාර්තාවක් පිහිටුවමින් ජය ගැනීමට සමත් විය.

19 හැවිරිදි Jacob Kiplimo අනෙකුත් ක්‍රීඩකයන් අතර පරතරයක් ගොඩනගා ගනිමින් තරගය මිනිත්තු 58:49ක කාලයකින් අවසන් කරමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර මීට පෙර Geoffrey Kamwroror විසින් පිහිටුවා තිබූ (59:08) තරගාවලි වාර්තාව ද බිඳ හෙළීමට ඔහු සමත් විය.

තරගය මිනිත්තු 58:54ක කාලයකින් අවසන් කළ කෙන්යානු ක්‍රීඩක Kibiwott Kandie මෙවර තරගයේ දෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් වූ අතර, සිය පෞද්ගලික හොඳම කාලය වූ මිනිත්තු 59:08ක කාලයක් සටහන් කරමින් තරගය අවසන් කළ ඉතියෝපියානු ජාතික Amedework Walelegn තෙවැනි ස්ථානය දිනා ගන්නා ලදි.

මීට අමතරව ලෝක රට හරහා දිවීමේ සහ මීටර් 10,000 ලෝක ශූරයා මෙන්ම මීටර් 5,000 සහ 10,000 ඉසව් හි ලෝක වාර්තාවන්ට හිමිකම් කියන උගන්ඩා ක්‍රීඩක Joshua Cheptegei ප්‍රථම වතාවට වරට අර්ධ මැරතන් තරගයක් නියෝජනය කිරීම සියල්ලන්ගේ අවධානයට ලක් වූ අතර ඔහු සිව්වැන්නා ලෙස (59:21) තරගය අවසන් කළේය.

අවසාන තරග ප්‍රතිඵලවලට අනුව කණ්ඩායම් ශූරතාව කෙන්යානු කණ්ඩායමට ද (පැය 2:58:10), දෙවන ස්ථානය ඉතියෝපියානු කණ්ඩායම ද (පැය 2:58:25), තෙවැනි ස්ථානය (2:58:39) උගන්ඩා කණ්ඩායම විසින් ද දිනා ගන්නා ලදි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<