400M ලෝක ශූරිය චෝදනාවලින් නිදහස්

207

තහනම් උත්තේජක පරීක්ෂණ මගහැරීමේ චෝදනාව නිසාවෙන් පසුගිය ජුනි මාසයේ සිට තහනමකට ලක් වූ 400M වත්මන් ලෝක ශූරිය වන බහරේන් ක්‍රීඩිකා Salwa Eid Naser හට පනවා තිබූ තහනම ඉවත් කිරීමට තීරණය කර ඇත.

Salwa Eid Naser විසින් පසුගිය වසරේ (2019) මාර්තු මස සිට මෙම වසරේ (2020) ජනවාරි මස දක්වා තහනම් උත්තේජක පරීක්ෂණ තුනක් මගහැරීම නිසාවෙන් පසුගිය ජුනි මාසයේ දී ඇය වෙත තහනමක් පැනවීමට මලල ක්‍රීඩා දූෂණ විරෝධී ඒකකය කටයුතු කරන ලදි.

පසුව එය පිළිබඳව සිදු කළ පරීක්ෂණවලින් අනතුරුව එ් පිළිබඳව සලකා බැලූ විනිශ්චය මණ්ඩලය විසින් Salwa Eid Naser පසුගිය වසරේ අප්‍රේල් මස ඉදිරිපත් නොවූ තහනම් උත්තේජක පරීක්ෂණය ඇයගේ වරදක් නිසාවෙන් සිදු නොවූවක් බව තීරණය කළ අතර එදින එම පරීක්ෂණය සඳහා ගිය නිලධාරියා මදක් ගැටලු සහගත තත්වයකට පත්ව ඇගේ නිවසේ දොරට යැයි සිතා ගබඩා කාමරයේ දොරට තට්ටු කර ඇති බව ද එහි දී හෙලි කෙරුණි.

එම නිසාවෙන් එම පරීක්ෂාව ඇය විසින් මගහැරී අවස්ථාවක් ලෙස සැලකිය නොහැකි බවට තීරණය කිරීම නිසාවෙන් ඇය විසින් මාස 12ක කාලයක් තුල පරීක්ෂණ 3ක් මගහැර ඇති චෝදනාව බැහැර කිරීමට සිදු වන නිසාවෙන් ඇයගේ තහනම ඉවත් කිරීමට තීරණය කළ නමුත් ඒ සඳහා Court of Arbitration for Sport වෙත දින 30ක් තුල අභියාචනාවක් ඉදිරිපත් කිරීමට මලල ක්‍රීඩා දූෂණ විරෝධී ඒකකයට අවස්ථාව හිමි වේ.

තවත් මලල ක්‍රීඩා පුවත්:

හිරුණිගේ වාර්තා ගොන්නට තවත් වාර්තාවක්

ජාත්‍යන්තර තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තමන් පිළිබඳව තොරතුරු යාවත්කාලීන කළ යුතු අතර එහි දී ඔවුන් සිටින ස්ථාන පිළිබඳව නිවැරදිව දැනුම් දීමට කටයුතු කළ යුතු වේ. පසුව එම තොරතුරු අනුව තහනම් උත්තේජක නිලධාරීන් විසින් කලින් නොදන්වා පරීක්ෂණ සිදු කිරීමට ක්‍රීඩකයන් වෙත පැමිණෙන අතර එලෙස පැමිණීමේ දී එම පරීක්ෂණ මගහැරී සහ සාවද්‍ය තොරතුරු සැපයූ ක්‍රීඩක ක්‍රීඩිකාව “whereabouts” නීතිය යටත්ව දඬුවම් ලබනු ඇත.

එලෙස මාස 12ක් ඇතුළත පරීක්ෂණ අවස්ථා 3ක් මගහරින ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට වසර දෙකක් දක්වා තරග තහනමක් පැනවීමට හැකියාවක් ඇති අතර මෙලෙස තහනම් උත්තේජක පරීක්ෂණ මගහැරීම නිසාවෙන් වත්මන් ලොව වේගවත්ම ක්‍රීඩක ක්‍රිස්ටියන් කෝල්මන් ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් මෙම වසර තුළ දී තහනමට ලක් විය.

Salwa Eid Naser හට පෙර පැනවූ තහනම නිසාවෙන් ලබන වසරේ පැවැත්වෙන ගිම්හාන ඔලිම්පික් උළෙල ද අහිමි වීමේ අවදානමකට ලක්ව තිබූ නමුත් මෙම තහනම ඉවත් වීම නිසාවෙන් ඇය හට ඔලිම්පික් උළෙල නියෝජනය කිරීමට වරම් හිමිවනු ඇත.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<