Team Samuels රිච්මන්ඩ් ශූරතාව රැගෙන යයි

රිච්මන්ඩ් චැම්පියන්ස් ලීගය 2021

1131

“2021 රිච්මන්ඩ් චැම්පියන්ස් ලීගය (RCL)” දෙසැම්බර් 27 සිට 29 දක්වා ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා.

තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට කමිඳු මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් Team Samuels සමත් වූ අතර ඔවුන් හමුවේ අනුශූරයින් ලෙස අභිෂේක ලැබුවේ Team Triggs කණ්ඩායමයි.

අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා ගත් Team Samuels පළමුව පන්දු යැවීම සඳහා තීරණය කළා.

ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් Team Triggs පන්දුවාර 19කුත් පන්දු 3ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 121ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී අවිඳු තීක්ෂණ ලකුණු 17ක් තුල කඩුලු 3ක් දවා ගනිමින් දස්කම් දැක්වූවා.

Team Samuels පන්දුවාර 13ක් අවසානයේ ඉතාමත් පහසුවෙන් ලකුණු 122ක ඉලක්කය හඹා ගිය අතර භානුක මනෝහර ලකුණු 49ක් ලබාගෙන ඔවුන්ගේ එම ජයග්‍රහණය පහසු කළා. තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වුනු මනෝහර අවසන් තරගයේ දී 4 පහර 6ක් සහ 6 පහර 2ක් සමඟ පන්දු 36ක දී ලකුණු 49ක් ලබා ගත්තා.

නායකත්වයේ වගකීම කරට ගනිමින් තුන් ඉරියව් දස්කම් පෙන්වූ කමිඳු පන්දු යැවීමෙන් දවා ගත් කඩුලු දෙකට අමතරව පිතිකරණයෙන් පන්දු 25ක් තුල නොදැවී ලකුණු 45*ක් ලබා ගැනීමට සමත් වුනා.

  • Team Triggs – 121 (19.3) R. විජේසිරි 22, V. ප්‍රනාන්දු 21, අවිඳු තීක්ෂණ 3/17, කමිඳු මෙන්ඩිස් 2/20, කල්ප නෙත්සර 2/37.
  • Team Samuels – 127/2 (13) බානුක මනෝහර 49, කමිඳු මෙන්ඩිස් 45*.

තරගාවලිය සඳහා රිච්මන්ඩ් විද්‍යාලය නියෝජනය කරමින් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට වරම් දිනූ චරිත් අසලංක, ධනංජය ලක්ෂාන්, කමිඳු මෙන්ඩිස් වැනි ක්‍රීඩකයින් රැසක් සහ ඔවුන්ගේ ආදි ක්‍රිකට් තරු සහභාගී වුනා.

ලංකා ප්‍රිමියර් ලීග් අවසන් මහා තරගයේ දී ආබාධයකට ලක්වුණු වනිඳු හසරංග සිය ආබාධය නිසා තරගාවලිය සඳහා ක්‍රීඩා කළේ නැහැ.

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලැබූ මේ තරගාවලියේ මූලික වටයේ තරගවල දී එක් කණ්ඩායමක් සෑම කණ්ඩායමක් සමඟම දෙවතාවක් ක්‍රීඩා කළා.

අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ ඉහළින්ම සිටි කණ්ඩායම් දෙක අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<