Messi ද? Ronaldinho ද?

152
Cardetti chooses Ronaldinho at His Best Over Messi

ආජන්ටිනාවේ හිටපු පාපන්දු ක්‍රීඩකයෙකු වන Martin Cardetti පවසා සිටින්නේ Ronaldinho සිය ඉහළම දක්ෂතා අතර සිටින අවස්ථාවක දී Lionel Messi වෙනුවට ඔහු Ronaldinho තෝරාගනු ඇති බවයි. 

Cardetti විසින් වසර 15කට අධික කාලයක් ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු ලෙස පාපන්දු සමාජ ගණනාවක් නියෝජනය කර  ඇත. එහිදී 2002-2003 කාල සීමාව තුළ ප්‍රංශයේ Paris Saint-Germain (PSG) පාපන්දු සමාජයේ ක්‍රීඩාකළ අවධියේ දී ඔහුට Ronaldinho සමඟ එකට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි විය. 

ඔහු Messi සහ Ronaldinho පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටින්නේ ඔහුට පුහුණුකරුවෙකු ලෙස එම ක්‍රීඩකයින් දෙදෙනාගෙන් එක් අයෙකු තෝරාගැනීමට සිදුවුවහොත් Ronaldinho සිය ඉහළම දක්ෂතා වල සිටින අවස්ථාවක දී නම් Messi වෙනුවට ඔහු Ronaldinho සිය කණ්ඩායම සඳහා තෝරාගන්නා බවයි. 

“පුහුණුකරුවෙකු ලෙස මගේ කණ්ඩායමට නම් Ronaldinho ඔහුගේ ඉහළම දක්ෂතා වල සිටින අවස්ථාවක දී Messi වෙනුවට මම තෝරාගන්නේ Ronaldinhoව.” 

“මට වසරක පමණ කාලයක් Ronaldinho සමඟ එකට ක්‍රීඩා කරන්න අවස්ථාව හිමිවුනා. ඔහු ඇත්තටම ගොඩක් වෙනස් ක්‍රීඩකයෙක්. මම දකින විදිහට නම් ඔහුට දෙවියන්ගේ බැල්ම වැටිලා තියෙනවා. ඔහු හැමතිස්සේම හොඳට විනෝද වෙමින් තමයි ක්‍රීඩා කළේ. පාපන්දුවත් සමඟ ඔහු හැමවෙලේම විශේෂ දේවල් කරන්න සමත් වුනා. ඒ වගේම ඔහු ඒ දේවල් තරග වලදීත් ඒ විදිහටම කරන්න පුළුවන් වෙන්න, ඒවා නිතරම සිදුකරමින් පුහුණුවීම් වලත් නිරත වුනා.” 

එමෙන්ම Cardetti මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ඔහුට Ronaldinho සමඟ එකම කණ්ඩායමේ ක්‍රීඩා කරන්නට ලැබීම ඔහු භාග්‍යයක් කොට සලකනු ලබන බවයි. 

“අපි ඔහුව පුහුණුවීම් වලදී වගේම තරග වලදීත් දැක්කම හොඳට තේරෙනවා, ඔහු කරන හැමදෙයක්ම අනිත් ක්‍රීඩකයින්ට වඩා ගොඩක් වෙනස් කියලා. ඒ වගේ ක්‍රීඩකයෝ බිහිවෙන්නේ ගොඩක් කලාතුරකින්. ඒ වගේම තමයි ඒ වගේ ක්‍රීඩකයෝ මුළු පාපන්දු ඉතිහාසය පුරාවටම හැමෝගේම මතකයේ රැඳී ඉන්නවා. ඉතින් ඒ වගේ ක්‍රීඩකයෙක් සමඟ එකට ක්‍රීඩා කරන්නට ලැබීම මම ලබපු ලොකු ගෞරවයක්.” 

Ronaldinho 2003 වසරේ සිට 2008 වසර දක්වා ස්පාඥ්ඥයේ FC Barcelona කණ්ඩායම වෙත ක්‍රීඩා කරනු ලැබූ අතර 2004 වසරේ Messi Barcelona කණ්ඩායම වෙනුවෙන් සිය මංගල තරගය ක්‍රීඩා කරන විටත් Ronaldinho ලොව දක්ෂතම ක්‍රීඩකයින් අතුරින් කෙනෙකු ලෙස සිය ස්ථානය ස්ථාපිත කරගෙන තිබුනි. අනතුරුව දෙදෙනා එහි වසර 5ක පමණ කාලයක් එකට ක්‍රීඩා කිරීමත් සමඟ ඔවුන් අතර ඉතා සමීප මිතුදමක් ගොඩනැඟුණු අතර එය අදටත් ඒ ආකාරයටම පවතින බව නොරහසකි. අනෙක් පසින් Messi පාපන්දු ලොව බිහි වූ විශිෂ්ටතම ක්‍රීඩකයින් අතුරින් කෙනෙකු ලෙස සිය නාමය ස්ථාපිත කරගැනීමේ ගමන්මගේ ආරම්භයේ දී Ronaldinhoගෙන් ඔහු හට ලැබුනු ගුරුහරුකම් ඉතා වැදගත් විය. 

තවත් කියවන්න

මේ වන විට වෘත්තීය පාපන්දු ක්‍රීඩාවට සමුදී සිටින Ronaldinho, බ්‍රසීල ජාතික කණ්ඩායම මෙන්ම Barcelona, PSG, AC Milan ඇතුළු තවත් පාපන්දු සමාජ ගණනාවක් නියෝජනය කර ඇත. ඔහුටම ආවේණික වූ සුවිශේෂී ක්‍රීඩා විලාශයකින් විශිෂ්ට දක්ෂතා දැක්වූ Ronaldinho, සිය පාපන්දු දිවිය තුළ 2002 වසරේ පාපන්දු ලෝක කුසලානය, 2005 FIFA Confederations Cup ශූරතාවය, 1999 Copa America ශූරතාවය මෙන්ම 2005-06 UEFA Champions League ශූරතාවය ඇතුළු තවත් ලීග් ශූරතා සහ දේශීය තරගාවලිවල ශූරතාවන් රාශියක් ද සිය පාපන්දු දිවිය තුළ දිනා ගන්නට සමත් වී ඇත. එමෙන්ම ඔහුගේ තනි දක්ෂතාවන් වෙනුවෙන් ඔහු 2005 වසරේ Ballon d’Or ශූරතාවය, FIFA ලොව වසරේ හොඳම පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය දෙවරක් ද ඇතුළුව තවත් සම්මාන රැසකින් ද පිදුම් ලබන්නට සමත් විය. 

අනෙක් පසින් Messi සිය පාපන්දු දිවියේ ආරම්භයේ සිට වර්තමානය දක්වා Barcelona පාපන්දු සමාජය නියෝජනය කරමින් UEFA Champions League ශූරතාවය සිව්වරක්, La Liga ලීග් ශූරතාවය දස වරක්, FIFA පාපන්දු සමාජ ලෝක කුසලානය තෙවරක් සහ තවත් කලාපීය මෙන්ම දේශීය ශූරතාවන් ද රැසක් දිනා ගැනීමට සමත් වී ඇත. ආජන්ටිනා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ඔහු කිසිඳු ජාත්‍යන්තර ශූරතාවයක් දිනාගැනීමට අපොහොසත් වී ඇත්තේ 2014 වසරේ පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අනුශූරතාවය ඔහු ඔවුන් සමඟ දැක්වූ ඉහළම දක්ෂතාවය ලෙස සටහන් කරගනිමිනි. කෙසේ නමුත් ඔහු Ballon dOr සම්මානය මෙන්ම යුරෝපයේ පාපන්දු ලීග් තරගාවලි සියල්ලම සලකා බලමින් සෑම වසරකම එහි වැඩිම ගෝල ලාභියාට පිරිනැමෙන European Golden Shoe සම්මානය ද වාර්තාගත 6 වරක් දිනා ගැනීමට සමත්ව ඇත්තේ පාපන්දු ඉතිහාසය තුළ එම සම්මාන ද්විත්වයම වැඩිම වාර ගණනක් දිනාගත් ක්‍රීඩකයාට හිමි ගෞරවය තමන් සතුකර ගනිමිනි. ඊට අමතරව ඔහු 2014 වසරේ පාපන්දු ලෝක කුසලානයේ හොඳම ක්‍රීඩකයාට පිරිනැමුනු රන් පන්දුව ඇතුළු තවත් තනි සම්මාන රාශියකට ද හිමිකම් කියන්නට සමත්ව ඇත. 

විශේෂාංග ලිපි; 

ඒ අනුව Messi සහ Ronaldinho සංසන්දනාත්මකව ගත්කළ ඔවුන් දෙදෙනාගේම ක්‍රීඩා විලාශයන් වල සමානකම් රැසක් පැවතියත් Ronaldinho සිය ජාතික කණ්ඩායම සමඟ Messi අභිබවමින් ඉහළ දක්ෂතා දක්වා ඇති පසුබිමක Messi විසින් Ronaldinhoව අභිබවමින් තනි ක්‍රීඩකයෙකු හා වෘත්තීය පාපන්දු සමාජ තලය තුළ දක්ෂතා ප්‍රදර්ශනය කරන්නට සමත්ව ඇත. ඒ අනුව මොවුන් දෙදෙනා අතරින් වඩාත් දක්ෂතම ක්‍රීඩකයා කවුරුන්ද යන්න ප්‍රකාශ කිරීම ඉතා අපහසු කටයුත්තක් වන අතර පාපන්දු විශ්ලේෂකයින් රැසක් පෙන්වා දෙන අන්දමට ඔවුන් දෙදෙනාම පාපන්දු ඉතිහාසය තුළ බිහි වූ සුවිශේෂී හා විශිෂ්ටතම ක්‍රීඩකයින් දෙපළක් ලෙස හඳුනා ගැනීම වඩාත් සුදුසු වනු ඇතැයි යන්න අපගේ මතය යි. 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<