Ronaldoත් නිරෝධායනයට!

98

පෘතුගාලයේ සුපිරි පාපන්දු ක්‍රීඩක Cristiano Ronaldo එරට සිට ඉතාලිය බලා පැමිණීමෙන් අනතුරුව ඔහුව නිරෝධායනය වෙත යොමු කිරීමට කටයුතු කර ඇත.  

මේ දිනවල ලොවපුරා පැතිර යන නව කොරෝනා වසංගත තත්වය හේතුවෙන් යුරෝපය පුරා පාපන්දු තරග දින නියමයකින් තොරව කල් දමා ඇත. ඒත් සමඟ ඉතාලියේ සිට සිය මව්රට වන පෘතුගාලය බලා ගිය Ronaldo, එහි Madeira කලාපයේ මාස 2කට ආසන්න කාලයක් සිය පවුල සමඟ ගත කිරීමෙන් අනතුරුව නැවතත් පසුගිය සඳුදා (04) දින ඉතාලිය බලා පැමිණෙන ලදි. ඒ අනුව ඉතාලියේ Turin නුවර වෙත පැමිණි ඔහුව ඉන් අනතුරුව දින 14ක නිරෝධායනය වෙත යොමු කිරීමට කටයුතු කෙරිනි. 

ඉතාලිය තුළ ක්‍රීඩා පුහුණුවීම් කටයුතු පළමුව මෙම මස 18 වන දින නැවතත් ආරම්භ වීමට සැලසුම් කර තිබීමත් සමඟ ඔහු එදිනට නැවතත් එරට බලා පැමිණීමට නියමිතව තිබුනි. නමුත් පසුව ඉතාලියේ කලාප රැසක පුහුණු මධ්‍යස්ථාන නැවතත් විවෘත කිරීමට අවසර ලබා දීමත් සමඟ එරට රජය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ ක්‍රීඩා පුහුණුවීම් කටයුතු පසුගිය සඳුදා (04) දින සිට නැවතත් ආරම්භ කළ හැකි බවයි. ඒ අනුව Juventus පාපන්දු සමාජයට මෙම කාලය තුළ ඉතාලියෙන් පිටතට ගොස් සිටි ඔවුන්ගේ විදේශීය ක්‍රීඩකයින්ව නැවතත් කැඳවීමට සිදු වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස Ronaldoට ද පසුගිය සඳුදා Turin නුවර බලා පැමිණීමට සිදුවිය. 

ඔහු Turin නුවරට පැමිණෙන විටත් කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයින් Juventus පුහුණු මධ්‍යස්ථානයේ දී කොරෝනා වෛරස පරීක්ෂණ වලට භාජනය කරමින් පැවති අතර එහිදී Aaron Ramsey, Federico Bernadeschi, Juan Cuadrado, Carlo Pinsoglio සහ Merih Demiral ඇතුළු තවත් ක්‍රීඩකයින් රැසක් එම අදාළ පරීක්ෂණයට භාජනය කරනු ලැබූහ. අනතුරුව ඊයේ දිනයේ දී පුහුණුවීම් කටයුතු නැවතත් ආරම්භ කරනු ලැබූ නමුත් එහිදී ක්‍රීඩකයින් තනි තනිව සමාජ දුරස්ථභාවයට අදාළ සම්මතයන් පිළිපදිමින් සිය පුහුණුවීම් කටයුතු වල නිරත වීම අනිවාර්ය විය. 

තවත් කියවන්න:

ඉතාලියේ Serie A ලීග් තරගාවලියේ ක්‍රීඩා කරනු ලබන කණ්ඩායම් 20 ම සුදුසු සහ ආරක්‍ෂිත දිනයක නැවතත් තරගාවලිය ආරම්භ කිරීමට සිය කැමැත්ත පළකර ඇත. මේ වන විට ඔවුන් කෙමෙන් කෙමෙන් පුහුණුවීම් කටයුතු ආරම්භ කරමින් සිටියත් නැවත වරක් එම තරගාවලිය ආරම්භ වන දිනයක් තවමත් ප්‍රකාශයට පත්කර නොමැත. එහිදී එරට ක්‍රීඩා අමාත්‍ය Vincenzo Spadafora ද මේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ‘ක්‍රීඩා පුහුණුවීම් කටයුතු ආරම්භ කරනු ලැබුවත්, කිසිසේත්ම පාපන්දු තරග නැවතත් මෑත දිනයක දී ආරම්භ කිරීමේ හැකියාවක් නොමැති බවයි’.

මෙහිදී ඉතාලියේ සමහර ක්‍රීඩා කටයුතු මාස කිහිපයක් සඳහා තහනම් කිරීමට එරට රජය පියවර ගනු ඇතැයි පැතිර ගිය පුවත් හමුවේ එරට පාපන්දු සමාජ නැවතත් පාපන්දු ක්‍රීඩා කටයුතු ආරම්භ කරන තෙක් මාස කිහිපයක් බලා සිටීමට සූදානම් බව Lazio පාපන්දු සමාජයේ ක්‍රීඩා අධ්‍යක්ෂ Igli Tare ප්‍රකාශ කළේය. ඊට ප්‍රතිචාර දක්වමින් ඉතාලි පාපන්දු සම්මේලනයේ (FIGC) සභාපති Gabriele Gravina ප්‍රකාශ කර සිටියේ එවන් පමා කිරීමක් සිදුකිරීම ඉතාලියේ පාපන්දු ක්‍රීඩාවේ අවසානය වනු ඇති බවයි. 

“මට ආරංචි වුන විදිහට ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ඊට අදාළ නියෝගයක් මේ සතියේ දී නිකුත් වෙන්න පුළුවන්. නමුත් එවන් නියෝගයක් නිකුත් කිරීම ඔහුගේ බලයෙන් පරිබාහිර දෙයක්. මොකද, FIFA, UEFA සහ FIGC පැහැදිලි කරලා තියෙන්නේ ලීග් තරගාවලි මෙම වසර තුළ අවසන් කළ යුතුයි කියන එක. අපිට ජුනි මාසයේ දී නැවතත් ලීග් තරගාවලිය ආරම්භ කරන්න බැරි වුනොත්, අපි ඒක පුළුවන් අවස්ථාවක සිදුකරනවා.”

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<