විශේෂ වගකීමක් ද සමඟින් Bumrah නැවතත් ක්‍රිකට් පිටියට

India tour of Ireland 2023

1594
Jasprit Bumrah

මාස ගණනාවක විවේකයකින් පසුව විශේෂ වගකීමක් ද සහිතව නැවතත් ඉන්දිය ජාතික කණ්ඩායම සමඟ එක් වීමේ අවස්ථාව වේගපන්දු යවන ක්‍රීඩක Jasprit Bumrah හට හිමි වී තිබෙනවා. 

මෙම මාසයේ මැද භාගයේ දී අයර්ලන්තය සමඟ පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියට සහභාගී වීමට නියමිත ඉන්දීය සංචිතය ඊයේ (31) දිනයේ නම් කළ අතර නවක ක්‍රීඩකයින් රැසකගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්වය Jasprit Bumrah හටයි හිමි වී ඇත්තේ. 

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයෙන් පසුව පිට කොන්දේ ඇති වූ ආබාධයක් හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඈත් වී සිටීමට සිදු වූ Bumrah විසින් පසුව නවසීලන්තයේ දී සිය ආබාධය වෙනුවෙන් සැත්කමකට ද භාජනය කෙරුණා. ඉන් අනතුරුව හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක VVS Laxmanගේ අධීක්ෂණය යටතේ ඔහු ඉන්දියාවේ ජාතික ක්‍රිකට් ඇකඩමියේ සිය සුව වීම් සඳහා කාලය ගත කළ අතර පසුව එහි දී පුහුණු තරග කිහිපයකට ද සහභාගී වී තිබුණා. 

එම පුහුණු තරගවලින් පසුව Bumrahගේ තත්වය පිළිබඳ සෑහීමකට පත් වීම නිසා ඔහු එළඹෙන අයර්ලන්ත සංචාරය වෙනුවෙන් ඉන්දීය සංචිතයට නම් කර තිබෙනවා. මෙහි දී සංචිතයේ නායකත්වය මෙවර ආසියානු ක්‍රීඩා උළෙල වෙනුවෙන් නම් කළ ඉන්දීය සංචිතයේ නායකත්වය හිමි වූ Ruturaj Gaikwad හට ලබා දිය යුතු බවට ද යම් අදහසක් මතු වී තිබුනත්, නායකත්වය වෙනුවෙන් Bumrahට ඇති උනන්දුව නිසාම ඔහුට එම වගකීම ද පවරා තිබෙනවා. 

මීට අමතරව ආබාධ තත්වයක් නිසා පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත් වී සිටීමට සිදු වූ Prasidh Krishna හට ද අයර්ලන්තය සමඟ තරග සංචාරයේ දී ඉන්දියාව නියෝජනය කිරීමට අවස්ථාව හිමි වී තිබෙනවා. 

මේ අතර ඉන්දීය සීමිත පන්දුවාර කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයින් රැසක් මෙම අයර්ලන්ත සංචාරය වෙනුවෙන් නම් කළ ඉන්දීය සංචිතයෙන් ඈත් කර ඇති අතර, එළඹෙන ආසියානු කුසලානය සහ ලෝක කුසලානය වෙනුවෙන් ඔවුන් ප්‍රවේසමෙන් රැක ගැනීම BCCI බලාපොරොත්තු බව වටහා ගත හැකි.

ඒ වෙනුවට නිමා වූ IPL තරගාවලියේ දී කැපී පෙනෙන දක්ෂතා පෙන්වූ Gaikwad, Jithesh Sharma, Rinku Singh, Shivam Dube වැනි ක්‍රීඩකයින් වෙනුවෙන් මෙම ඉන්දීය සංචිතයේ දොරගුළු හැර දමා තිබීම විශේෂත්වයක්. 

එළඹෙන අයර්ලන්ත සංචාරය වෙනුවෙන් නම් කළ ඉන්දීය සංචිතය; 

Jasprit Bumrah (නායක), Ruturaj Gaikwad (උප නායක), Yashasvi Jaiswal, Tilak Varma, Rinku Singh, Sanju Samson, Jitesh Sharma, Shivam Dube, Washington Sundar, Shahbaz Ahmed, Ravi Bishnoi, Prasidh Krishna, Arshdeep Singh, Mukesh Kumar, Avesh Khan 

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

ESPN Crickinfo ඇසුරිනි. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<