Ali ආයෙත් යන්න යයි!

The Ashes 2023

10210

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට සමුදී සිටියත් 2023 අළුබඳුන තරගාවලිය වෙනුවෙන් නැවත ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට පය තැබූ එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක Moeen Ali විසින් තමන් නැවතත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා නොකරන බව ප්‍රකාශ කර තිබෙනවා.

මෙවර අළුබඳුන තරගාවලිය ආරම්භ වීමට දින කිහිපයකට ප්‍රථම එංගලන්ත කණ්ඩායමේ ප්‍රධාන දඟපන්දු යවන්නා වන Jack Leach ආබාධයකට ලක් වීම නිසා එංගලන්ත සංචිතයේ පුරප්පාඩවක් ඇති වුනා. Leachගේ අඩුව පිරවීම වෙනුවෙන් එංගලන්තයට වෙනත් දඟපන්දු යවන්නෙකු අවශ්‍ය වූ අතර ඒ අනුව එංගලන්ත නායක Ben Stokesගේ අවධානය යොමු වුනේ ඒ වන විට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට සමුදී සිටි Moeen Ali වෙතටයි.

මේ අනුව Stokes විසින් Ali වෙත කෙටි පණිවුඩයක් යොමු කරමින් නැවත එංගලන්තයට ක්‍රීඩා කිරීමට කැමැත්ත විමසා තිබුණා. නමුත් Ali පළමු කොට එය Stokesගේ විහිළුවක් බව සිතූ බවයි සඳහන් කර තිබුණේ. නමුත් පසුව ඔහු විසින් සිය සමුගැනීමේ තීරණයට මද විරාමයක් තබා නැවතත් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට පිවිසීමට තීරණය කළා. 

“ඒක පුදුම සහගතයි. ඇත්තටම ආපසු ඒම තරමක් අපහසු දෙයක්. මොකද මම කවදාවත් ඕස්ට්‍රේලියාවට එරෙහිව හොඳින් ක්‍රීඩා කරලා නැහැ.  

නමුත් Stokesy මගෙන් ඇහුවාම මම හිතුවා, ‘ඇයි නැත්තේ?’ මම යන්නේ හොඳ කණ්ඩායමකට. ඒ වගේම මම තවමත් විශ්වාස කරනවා මට හොඳින් ක්‍රීඩා කළ හැකියි කියලා.” 

ඊයේ (31) දිනයේ ඕස්ට්‍රේලියාවට එරෙහිව 2023 අළුබඳුන තරගාවලියේ පස්වැනි සහ අවසන් තරගයෙන් ලකුණු 49ක තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමෙන් අනතුරුව ජයග්‍රාහී කණ්ඩායමේ ක්‍රීඩකයෙකු ලෙස Moeen විසින් මේ බව BBC වෙත සඳහන් කර තිබුණා. 

ඊයේ තරගය එංගලන්තය විසින් ජයග්‍රහණය කිරීමත් සමඟ 2023 අළුබඳුන තරගාවලිය 2-2ක් ලෙස සම මට්ටමින් යුතුව අවසන් වූ අතර මෙම තරගාවලිය තුළ දී Moeen Ali විසින් තුන් ඉරියව්වෙන් ම එංගලන්තය වෙනුවෙන් දැක් වූ දක්ෂතා ද විශේෂයෙන් කැපී පෙනුණා. 

“මම ඔව් කිව්ව එක ගැන (Stokesගේ ඉල්ලීමට) සහ මෙහි නැවත පැමිණීම ගැන මට ගොඩක් සතුටුයි. මම ක්‍රීඩාගාරයට පැමිණි පළමු දිනයේ සිට ම Baz (Brendon McCullum) සහ Stokesy යටතේ Jimmy සහ Broady සමඟ (James Anderson සහ Stuart Broad සමඟ) කණ්ඩායමේ කොටසක් වීමට හැකියාව ලැබුණා.” 

ඊයේ තරගයෙන් අනතුරුව නැවත කණ්ඩායම සමඟ එක් වීම පිළිබඳ දැනුණු හැඟීම Ali විසින් එසේ විස්තර කළා.  

නමුත් ඔහු මෙම තරගාවලියේ දී අවස්ථා දෙකක දී ම ආබාධවලට ලක් වීමත් විශේෂත්වයක්. නැවත ටෙස්ට් ක්‍රිකට් පිටියට පැමිණීමෙන් පසු ක්‍රීඩා කළ පළමු තරගයේ දී ම සිය ඇඟිල්ලේ සිදු වූ ආබාධයක් නිසා Ali හට එම තරගයේ එක් ඉනිමක එංගලන්තය වෙනුවෙන් පන්දු යැවීමට හැකියාව ලැබුණේ නැහැ. එමෙන්ම ඔහුට මෙම ආබාධය නිසා තරගාවලියේ දෙවැනි තරගය ද මග හැරී ගියා. 

එම තරග ද්විත්වයම එංගලන්තය විසින් ඕස්ට්‍රේලියාව හමුවේ පරාජය වූ අතර තෙවැනි තරගයේ දී Ali නැවතත් එංගලන්ත කණ්ඩායම සමඟ එකතු වුනා. එමෙන්ම එතැන් පටන් එංගලන්තය ද තරගාවලියේ සිය අණසක පැතිරීමට සමත් වුනා. 

සිය නැවත පැමිණීමෙන් පසුව Ali විසින් පන්දුවෙන් මෙන්ම පිත්තෙන් ද සාර්ථක වීමට සමත් වූ අතර කණ්ඩායමේ අවශ්‍යතාව මත අංක තුන පිතිකරු ලෙස පිතිකරණයේ නියැලීමට පවා ඔහු යොමු වුනා

මේ අතර තරගාවලියේ පස්වැනි තරගයේ එංගලන්ත පළමු ඉනිමේ දී අංක තුන පිතිකරු ලෙස පිතිකරණයේ යෙදෙමින් සිටිය දී Ali විසින් නැවතත් ආබාධයකට ලක් වුනා. ඒ නිසා Ali එම තරගයේ ඕස්ට්‍රේලියා පළමු ඉනිමේ දී පන්දු යැවීමට පවා නොහැකි වූ නමුත් එම අඩුපාඩුව ඕස්ට්‍රේලියානු දෙවන ඉනිමේ දී සපුරාලීමට ඔහු විසින් සමත් වුනා. 

අවසන් ටෙස්ට් තරගයේ සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 384ක ඉලක්කයක් හඹා යමින් සිටි ඕස්ට්‍රේලියාව වරක කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 264ක් ලබා සිටි අතර ඒ මොහොතේ ක්‍රියාත්මක වූ Ali විසින් ලකුණු 43ක් ලබා සිටි Travis Headගේ කඩුල්ල දවා ගැනීමට සමත් වුනා. 

“එය මගේ අතින් ගිලිහුණු මොහොතේ ම මම දැන ගත්තා එය හොඳ පන්දුවක් බව. එම පන්දුවාර හතර තුළ කඩුලු හතරක් බිඳ වැටුණා. එය ක්‍රීඩාංගණයේ සිටි සියල්ලන් ම උද්‍යෝගයට පත් කළා.” 

Headගේ කඩුල්ල දවා ගැනීම සම්බන්ධයෙන් සිය මතකය Ali විසින් එසේ අවදි කළ අතර, ඔහු එහි දී සඳහන් කළ සේ Headගේ දැවී යාමෙන් පසු පන්දුවාර තුනක් තුළ තවත් ඕස්ට්‍රේලියානු කඩුලු 3ක් බිඳ වැටුණා. එමෙන්ම Headගේ දැවී යාමෙන් පසු ඕස්ට්‍රේලියානු ඉනිමට තවත් ලකුණු 70ක් එක් වන විට සමස්ත ඕස්ට්‍රේලියානු ඉනිම ම බිඳ හෙළීමට එංගලන්ත පන්දු යවන්නන් විසින් සමත් වූ අතර ඉන් කඩුලු 3ක් Moeen Aliගේ නම ඉදිරියෙන් ලියැවී තිබුණා. එම ජයග්‍රහණය පිළිබඳ ව Ali විසින් සිය සතුට BBC වෙත මෙසේ ප්‍රකාශ කළා. 

“ඒක පුදුම සහගතයි. මට ඕස්ට්‍රේලියාවට එරෙහිව ජයග්‍රහණයකින් අවසන් කිරීමට හැකි වීම සහ එම ජයග්‍රහණය වෙනුවෙන් උදව් වීමට හැකි වීම සතුටට කරුණක්. මම ලකුණු ලබා ගත්තා. ඒ වගේම එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරමින් රටේ සියලු දෙනාවම නියෝජනය කිරීමට ලැබීම ගැන මම සතුටු වෙනවා.” 

Moeen Ali විසින් මෙම තරගාවලියේ තරග හතරක් ක්‍රීඩා කරමින් ලකුණු 180ක් ලබා ගැනීමට සමත් වූ අතර කඩුලු 9ක් ද බිඳ හෙළීමට සමත් වුනා. 

එමෙන්ම ඔහු මෙම තරගාවලිය අතරතුර ටෙස්ට් ලකුණු 3000 සීමාව මෙන්ම ටෙස්ට් කඩුලු 200 සීමාව ද ඉක්මවා යෑමට සමත් වුනේ එවැනි දක්ෂතාවක් පෑ ලොව 16 වැනි ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත් වෙමිනුයි. 

කෙසේ වෙතත් මෙයින් පසු තමන් නැවතත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා නොකරන බව Ali විසින් හාස්‍යජනක ස්වරයෙන් යුතුව මෙසේ BCC වෙත ප්‍රකාශ කළා. 

“Stokesy මට නැවත කෙටි පණිවුඩ එව්වොතින්, මම ඒවා මකා දමනවා. 

මම ඒක කළා, මම ඒක ඇත්තටම රස වින්දා. එය හොඳින් නිමා කිරීමට ලැබීම සතුටක්.” 

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

ESPN Cricinfo ඇසුරිනි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<