BCCI විසින් ලොකු අත්තක් අල්ලන්න සූදානම් වෙයි

965

ගෝලීය ව්‍යාපාරික දැවැන්තයින් ලෙස සැලකුම් ලබන Amazon.com Inc සහ Alphabet Inc යන ආයතන ඉන්දීය ක්‍රිකට් මාධ්‍ය හිමිකම් මිල දී ගැනීමේ වෙන්දේසියට ලංසු තැබීම සඳහා පොළඹවා ගැනීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් උත්සාහ දරමින් සිටින බව Times of India පුවත්පත මඟින් හෙළිදරව් කරනවා.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම විසින් අනෙක් රටවල් සමඟ ක්‍රීඩා කරන ද්විපාර්ශවික ක්‍රිකට් තරගාවලි සඳහා මාධ්‍ය අයිතිය ලබා දීමට සිදු කරන වෙන්දේසි කිරීමේ ක්‍රියාවලිය පැවැත්වීමට නියමිත දිනයට වඩා අවම වශයෙන් සති දෙකක පමණ කාලයක් දක්වා කල් දැමීමට ද BCCI විසින් පියවර ගෙන තිබෙනවා.

නිමා වූ IPL තරගාවලියේ මාධ්‍ය අයිතිය ලබා ගැනීම වෙනුවෙන් දැඩි තරගයක නිරත වූ සමාගම් විසින් මෙවර වෙන්දේසිය වෙනුවෙන් අඩු උනන්දුවක් දැක්වීම මත BCCI විසින් මෙම තීරණය ගෙන ඇති බවයි දැන ගන්නට ලැබෙන්නේ.

බලාපොරොත්තු වූ තරම් වෙළඳ ප්‍රචාරණ ආදායම් නොලැබීමේ ගැටලුවක් ඇති බැවින් මාධ්‍ය ආයතනවලට මේ පිළිබඳ ඇති උනන්දුව අවම වී ඇති බවත්, එළඹෙන වසර 5ක කාලය සඳහා ලබා දෙන මාධ්‍ය අයිතියට ඩොලර් මිලියන 750ක පමණ මුදලක වටිනාකමක් හිමි වූවත් එය මීට වසර පහකට පෙර ඉන්දීය ක්‍රිකට් මාධ්‍ය අයිතිය Star India වෙත විකුණන ලද මුදලට (ඩොලර් මිලියන 741) අතිශය ආසන්න අගයක් වීමත් මෙම උනන්දුව අඩු වීමට හේතුව බවයි Times of India මඟින් හෙළිදරව් කරන්නේ.

එමෙන්ම 2018 වසරේ දී මාධ්‍ය හිමිකම් ලබා ගත් Star India (පසුව එය Disney සමාගමේ ඒකකයක් බවට පත් වුනා.) විසින් එම වසර පහක කාලය තුළ ආසන්න වශයෙන් රුපියල් බිලියන 10ක පමණ අලාබයක් ලබා ඇති බවත් ඔවුන් විසින් හෙළිදරව් කරනවා.

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Times of India ඇසුරිනි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<