නවසීලන්ත – පාකිස්තාන තරගාවලියට ත්‍රස්ත බියක්!

නවසීලන්ත කණ්ඩායමේ පාකිස්තානු සංචාරය 2021

604
New Zealand call off Pakistan tour

සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ සත්කාරක පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබූ එක්දින තරග තුනකින් සහ විස්සයි විස්ස තරග පහකින් සමන්විත තරගාවලිය අවලංගු කිරීමට දෙරටේ බලධාරීන් තීරණය කර තිබෙනවා.

සිය ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව සඳහා යම් තර්ජනයක් තිබෙන බව නවසීලන්ත රජය මඟින් දැනුම් දීමත් සමඟම නවසීලන්ත ක්‍රිකට් ආයතනය විසින් ඒ බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය වෙත දන්වා තිබෙනවා.

තරගාවලිය අද (17) Rawalpindi හිදී ආරම්භ වීමට නියමිතව තිබුණු නමුත් නවසීලන්ත රජයේ දැනුම් දීම ලැබුණු විගසම නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩාංගණය සඳහා පැමිණීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි පාකිස්තානය විසින් නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම​ට නැවතත් සිය රට බලා පිටව යාමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටිනවා.

“අපේ රටේ හොඳ බුද්ධි ආරක්ෂක අංශයක් සිටිනවා. මේ වන තෙක් ඔවුන් ආරක්ෂාව සඳහා යම් තර්ජනයක් තිබෙන බවට කිසිම අනාවරණයක් කරගෙන නැහැ. මේ සම්පූර්ණ තරගාවලිය සඳහා මෙන්ම කණ්ඩායම් දෙකටම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙ​ළක් සකස් කර තිබෙන නිසා එවැනි ආකාරයක බියක් ඇති කර ගත යුතු නැහැ” යැයි පාකිස්තානු අග්‍රාමාත්‍ය සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩක Imran Khan මහතා නවසීලන්ත අගමැතිනිය වන Jacinda Ardern මහත්මිය වෙත දන්වා තිබෙනවා.

එළඹෙන ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට පෙර සූදානමක් ලෙස පාකිස්තානය සහ නවසීලන්තය අතර විස්සයි විස්ස තරග 5ක් Lahore හිදී පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, උද්ගත වී තිබෙන තත්වය අනුව එම තරගාවලිය ද දින නියමයක් නොමැතිව කල් යනු ඇත.

වත්මන් ලෝක එක්දින අනුශූරයින් සහ ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරයින් වන නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමක් පාකිස්තාන තරග සංචාරයක් සඳහා පැමිණියේ (2003ට පසුව) වසර 18කට පසුවයි. තරගාවලිය පැවැත්වීමට නොහැකි වුවහොත්, එළඹෙන එංගලන්ත කණ්ඩායමේ පාකිස්තානු සංචාරය ද අත්හිටුවීමට වැඩි ඉඩක් තිබෙනවා.

මේ සිදුවීම පාකිස්තානු ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට සහ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ආදරය කරන සියලුම ප්‍රේක්ෂකයින් හට ඉතාමත් කනගාටුදායක සිදුවීමක් වනු නිසැකය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<