පළමු MLC කිරුළ MI New York දිනා ගනී!

Major League Cricket 2023

1692

ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වුණු පළමු විස්සයි විස්ස ලීග් ක්‍රිකට් තරගාවලිය වන Major League Cricket තරගාවලිය අද (31) උදෑසන නිමා වුනේ එහි පළමු ශූරයින් ලෙස MI New York කණ්ඩායම විසින් කිරුළු දැරීමත් සමඟයි. 

අද පැවැත්වුණු තරගාවලියේ අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලබා ගැනීමට තරගාවලියේ සාර්ථක ම කණ්ඩායම ලෙස හඳුන්වා දිය හැකි Seattle Orcas සහ තරගාවලියේ මූලික වටයේ තරග දෙකක් පමණක් ජයග්‍රහණය කරමින් ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය හිමි කර ගත් MI New York විසින් සමත් වුනා. 

Seattle Orcas නියෝජනය කරමින් හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක ශෙහාන් ජයසූරිය ද මෙම තරගයට සහභාගී වූ නමුත් මෙතෙක් කල් Seattle Orcas කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු ව සිටි දසුන් ශානක LPL තරගාවලිය නිසා නැවත ශ්‍රී ලංකාවට පැමිණීමෙන් ඔහුට මෙම අවසන් තරගය මග හැරී ගියා. 

එමෙන්ම හිටපු ශ්‍රී ලාංකික වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග මෙම තරගාවලියේ MI New York කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කිරීමත් විශේෂත්වයක්. 

කාසියේ වාසිය New York නායක Nicholas Pooran විසින් දිනා ගත් අතර ඔහුගේ ඇරයුමෙන් පළමුව පිතිකරණයේ යෙදුණු Orcas කණ්ඩායම විසින් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 183ක් ලබා ගැනීමට සමත් වුනා. 

මෙහි දී Orcas වෙනුවෙන් Quinton de Kock විසින් වේගවත් ලකුණු 87ක් ලබා ගැනීමට සමත් වුනේ හයේ පහර 4ක් ද සමඟයි. 

ඊට අමතර Dwaine Pretorius විසින් ලකුණු 21ක් ලබා ගැනීමට සමත් වූ අතර, ශෙහාන් ජයසූරිය ලකුණු 16ක් ලබා ගත්තා. 

New York වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Rashid Khan සිය පන්දුවාර 4 තුළ ලකුණු 9කට කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වූ අතර, ඊට අමතර Trent Boult විසින් ද කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වුනා. 

ලකුණු 184ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසුණු New York ආරම්භක පිතිකරුවන් යුගලය එතරම් සාර්ථක නොවුනත්, අංක තුන පිතිකරු ලෙස පිටියට අවතීර්ණ වූ නායක Nicholas Pooran විසින් තනිවම තරගයේ ජයග්‍රහණය සිය කණ්ඩායම වෙත ලබා දීමට සමත් වුනේ පන්දු 55ක් පමණක් වැය කරමින් ලකුණු 137ක් ලබා ගැනීමත් සමඟයි. 

249.09ක ප්‍රහාරාත්මක වේගයක් සහිත ක්‍රියාත්මක වුනු මෙම නොදැවුනු ඉනිමට හයේ පහර 13ක් සහ හතරේ පහර 10ක් අන්තර්ගත වූ අතර එම ඉනිම නිසාම MI New York කණ්ඩායම විසින් පන්දුවාර 16ක් පමණක් වැය කරමින් ජයග්‍රාහී ඉලක්කය සපුරා ගැනීමට ද සමත් වුනා.  

  • Seattle Orcas 183/9 (20) Quinton de Kock 87, ශෙහාන් ජයසූරිය 16, Rashid Khan 3/9, Trent Boult 3/34 
  • MI New York 184/3 (16) Nicholas Pooran 137, Dewald Brevis 20, Imad Wasim 1/14, Wayne Parnell 1/22 

අවසන් තරගයේ වීරයා සම්මානය Nicholas Pooran සතු වූ අතර තරගාවලියේ වීරයා සම්මානය හිමි වුනේ Seattle Orcas නියෝජනය කළ Cameron Gannon (කඩුලු 11) හටයි. 

මේ අතර මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වීමට ද Nicholas Pooran සමත් වූ අතර ඔහු විසින් ලකුණු 388ක් ලබා ගනිද්දී, තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත් වූ Trent Boult විසින් කඩුලු 22ක් දවා ගැනීමට සමත් වුනා. 

ඔවුන් දෙදෙනා ම MI New York කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් වීම ද විශේෂත්වයක්. 

මේ අතර මෙම තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකිකයින් අතුරින් ශෙහාන් ජයසූරිය විසින් තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර 13 වැනි ස්ථානයට පත් වුනේ ඉනිම් 6ක දී ලකුණු 146ක් ලබා ගනිමිනුයි 

එමෙන්ම තරගාවලියේ මූලික වටයේ සිව් වැනි ස්ථානයට පත් වෙමින් දළ ලකුණු වේගය නිසා Play-Off තරග වටයට වෙත සුදුසුකම් ලැබූ MI New York කණ්ඩායම විසින් එතැන් පටන් පිට පිටම තරග තුනක් (Eliminator, Qualifier 2 සහ අවසන් මහා තරගය) ජයග්‍රහණය කරමින් ඉතිහාසයේ පළමු MLC ශූරයින් බවට පත් වීමත් විශේෂ සිදු වීමක්. 

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<