මන්කාද් සමඟම එළියට පනින ක්‍රීඩාවේ සදාචාරය

IPL 2023

1980

පසුගිය සඳුදා (10) Lucknow Super Giants සහ Royal Challengers Bangalore කණ්ඩායම් අතර පැවැත්වුණු IPL තරගයේ දී Harshal Patel විසින් තරගයේ අවසන් පන්දුවේ දී Ravi Bishnoiව දුවද්දී දවා ගැනීමට (මන්කාද් කිරීමට) උත්සාහ කළා.

ඒ වන විට තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් Lucknow කණ්ඩායමට එක් ලකුණක් අවශ්‍ය ව තිබූ අතර, Bangaloreයට එක් කඩුල්ලක් දවා ගැනීමට ඉතිරි ව තිබුණා. ඒ අවස්ථාවේ Bangalore වෙනුවෙන් පන්දු යවමින් සිටි Harshal Patel විසින් තරගයේ අවසන් පන්දුව යැවීමට දිවවිත් පන්දුව නොයවා Ravi Bishnoiව දුවද්දී දවා ගැනීමට උත්සාහ කළා.

ඒ වන විට Bishnoi සිය සීමා ඉරෙන් සෑහෙන තරම් දුරක් ඈත් වී සිටි නමුත් Patelට කඩුල්ල බිඳ දැමීමට හැකියාවක් ලැබුණේ නැහැ.

මෙම දවා ගැනීමට කළ උත්සාහය නිසා නැවත වරක් මන්කාද් දවා ගැනීම් සහ එහි සදාචාරාත්මක බව පිළිබඳ ව කතාබහක් ගොඩ නැගී තිබෙනවා.

නමුත් විශේෂත්වය වන්නේ මීට පෙර බොහෝ විට පන්දු යවන්නාගේ සදාචාරය පිළිබඳ කතාබහ කළ අය පවා දැන් පිතිකරුවන්ගේ සදාචාරාත්මක බව ගැන කතාබහට ලක් කිරීමයි.

ප්‍රවීණ ඉන්දීය ක්‍රිකට් විස්තර විචාරකයකු වන Harsha Bhogle සහ ඊට අමතරව Brian Lara, මන්කාද් දවා ගැනීම් පිළිබඳ නිතරම නම සඳහන් වෙන Ravichandran Ashwin ද මේ පිළිබඳව සිය අදහස් පළ කර තිබුණා.

” Bishnoi විසින් කලින් ම සිය සීමා ඉරෙන් ඉවත් වෙලා තිබුණා. පන්දු යවන අන්තයේ සිටින පිතිකරුවා දවා ගැනීම නොකළ යුතු බව කියන මෝඩ මිනිස්සු තවත් ඉන්නවා ද?”

Harsha Bhogle විසින් Twitter සටහනක් තබමින් මේ ප්‍රකාශය සිදු කළ අතර, ඔහුගේ ප්‍රකාශයට පිළිතුරක් ලෙස එංගලන්තයේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයෙකු සහ මෙවර IPL තරගාවලියේ Chennai Super Kings නියෝජනය කරන Ben Stokes විසින් සඳහන් කර තිබුණේ, ඉදිරියේ දී මෙවැනි දෙයක් සිදු වුවහොත් ඒ වෙනුවෙන් දඬුවම් ලකුණු 6ක් ලබා දිය යුතු බවයි.

“සීමා ඉර කලින් ම හැර ගිහින් අසාධාරණ වාසියක් ලබා ගන්න උත්සාහ කරනවා නම් විනිසුරු අභිමතය පරිදි දඬුවම් ලකුණු හයක් ලබා දිය යුතුයි? එවිට කිසිම මතභේදයකින් තොරව පිතිකරුවන් විසින් මේ දෙය නවත්වාවී.”

Stokes විසින් සිදු කළ මෙම ප්‍රකාශය ඔහු විසින් පෙර දැරූ මතය (මන්කාද් දවා ගැනීම පිළිබඳව) සම්පූර්ණයෙන් ම කණපිට පෙරලීමක් ලෙස හඳුන්වා දිය හැකියි.

මීට පෙර මන්කාද් දවා ගැනීම පිළිබඳ දැඩි ලෙස කතාබහට ලක්වුනේ ඉන්දියානු ක්‍රීඩිකා Deepti Sharma විසින් එංගලන්ත ක්‍රීඩිකා Charlotte Deanව මන්කාද් කිරීමට ලක් කළ අවස්ථාවේ දී වන අතර, එහි දී Ben Stokes සහ Bhogle අතර Twitter මත ගැටුමක් ඇති වුනා.

අද වන විට එක සමාන අදහස් දැරුවත් එවකට මොවුන් දෙදෙනා විසින් දැරුවේ එකිනෙකට වෙනස් මත දෙකක්. එහි දී Bhogle සහ Stokes අතර ඇති වුනු කතාබහේ මූලික හරය වුනේ “ක්‍රිකට් ක්‍රීඩාවේ සදාචාරය සහ සංස්කෘතිය” කොතැනක වේ ද යන්නයි.

“ඒක සංස්කෘතිකමය දෙයක්, ඉංග්‍රීසීන් හිතන්නේ ඒක වැරදියි කියලා. ඒ වගේ ම ඔවුන් ක්‍රිකට් ලෝකයේ සෑහෙන්න ප්‍රමාණයක් පාලනය කරපු නිසා අනිත් අයටත් කියනවා ඒක වැරදියි කියලා. යටත් විජිත ආධිපත්‍යය මොන තරම් බලවත් ද කියනවා නම් එය ප්‍රශ්න කරන්නෙත් කිහිප දෙනෙක් විතරයි.”

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී සිදු වූ මෙම සිදුවීම සම්බන්ධයෙන් Bhogle මතු කළ කාරණයට එරෙහිව Stokes විසින් පිළිතුරු දෙමින් සඳහන් කළේ එය (මන්කාද් දවා ගැනීම) තමන්ගේ (ඉංග්‍රීසීන්ගේ) පමණක් විවේචනයට බඳුන් වන කරුණක් නොව මුළු ක්‍රිකට් ලෝකයේ ම එය විවේචනය වන බවයි.

මේ වන විට ක්‍රිකට් නීති සම්පාදනය කරන MCCය විසින් පවා මෙය නිල මට්ටමේ දවා ගැනීමක් බව පිළිගෙන ඇති නමුත්, බොහෝ විට තරගයක මෙම සිදුවීමට භාජනය වන පාර්ශවයෙන් (වින්දිතයා) මෙම දවා ගැනීම සහ ක්‍රීඩාවේ සදාචාරය පිළිබඳ කතාබහක් ඇති කිරීමට උත්සාහ කිරීම සාමාන්‍ය දෙයක් බවට පත් වී තිබෙනවා.

දිනෙන් දින උණුසුම් වන IPL තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<