Hurricane මාරුතයෙන් බැට කෑ Highlanders හිස් අතින් ගෙදර යයි

154

Investec Super Rugby Aotearoa 2020 තරගාවලියේ පස්වැනි සතිඅන්තය නිමා කරමින් අද (12) පැවති තරගයෙන් විශිෂ්ට ජයක් අත්පත්කර ගැනීමට Hurricanes කණ්ඩායම සමත් විය. ලකුණු 17-11ක් ලෙසින් Highlanders පරාජයට පත් කරමින් ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට Hurricanesට හැකි විය.

Blues අපරාජිත ගමන් මඟට තිත; Crusaders කෙමෙන් කිරුළට ළං වේ

විදුලි ආලෝක ධාරා මධ්‍යයේ ආරම්භ වූ තරගයේ පළමු විනාඩි පහක කාලය තුල දී දෙපිලේම ක්‍රීඩකයින්ට උත්සාහක දිනුම් වාර්තා කිරීමේ පහසු අවස්ථාවන් කිහිපයක් උදා වූ නමුත් රූපවාහිනි විනිසුරු විසින් පුනරූපයන් ඔස්සේ දිස් වූ අත්වැරදීම් කිහිපයක් හඳුනා ගනිමින් පිටියේ විනිසුරු ලබා දුන් තීරණ කිහිපයක්ම නිශ්ප්‍රභ කරදැමීමට ක්‍රියා කළේය.

පළමු අර්ධය තුල දී Highlanders කණ්ඩායමට සාපේක්ෂව පන්දු පාලනය අතින් Hurricanes කණ්ඩායම ඉදිරියෙන් සිටි අතර නිරන්තරයෙන්ම ප්‍රතිවාදී ආරක්ෂක වැට වෙත ප්‍රහාර එල්ල කරමින් කරමින් ඔවුන් වෙත පීඩනය යොමු කිරීමට Canes පසුපෙළ ක්‍රීඩකයින් වඩාත් යුහුසුලු විය.

28 සහ 36 වැනි විනාඩියන්හී Hurricanes ක්‍රීඩකයින් දැකුම්කළු උත්සාහක දිනුම් ද්විත්වයකින් ප්‍රතිවාදීන් හට සංග්‍රහ කිරීමට වගබලා ගත් අතර නායක TJ Perenara සහ Kobus Van Wyk එසේ තම කණ්ඩායමේ ලකුණු පුවරුව වර්ණවත් කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කළහ. හිමි වූ ප්‍රවර්තන අවස්ථා දෙකෙන් නිවැරදිව ඉලක්කය වෙත එල්ල කිරීමට හැකි වූයේ එක් ප්‍රවර්තනයක් පමණි. (Hurricanes 12- 00 Highlanders)

පළමු අර්ධයේ ලකුණු තත්වය: Highlanders 00 – 12(2T,1C) Hurricanes

දෙවන අර්ධය ආරම්භ වී පළමු කාර්තුව අවසන් වීමට පෙරාතුව යලි ක්‍රියාත්මක වූ Hurricanes ඉදිරි පෙළ තම පසුපෙළ ක්‍රීඩකයින් හට ආක්‍රමණයන් දියත් කිරීමට අවශ්‍ය වටපිටාව සකසා දුන්නේ ප්‍රතිවාදී ආරක්ෂක වැටෙහි දුර්වල ස්ථානයන්ට සූක්ෂමව පහර දෙමිනි.

සුපර් රග්බිවලට වෙනස්කම් කිහිපයක්

Devan Flanders තම කණ්ඩායම අද දිනය තුල වාර්තා කළ තෙවැනි උත්සාහක දිනුමේ හිමිකාරිත්වය ඔහු නමින් සටහන් කරගනිද්දී කෙමෙන් තරගයට අවතීර්ණ වූ Landers ක්‍රීඩකයින් ලැබුණු දඬුවම් පහර අවස්ථාවක් සාර්ථක කරගනිමින් ලකුණු පුවරුවේ තම අන්තයට පණ පෙවීමට සමත් විය. (Hurricanes 17 – 03 Highlanders)

59 මිනිත්තුවේ දී තරගය නැවතත් කණ්ඩායම් දෙකටම විවෘත කරමින් Highlanders නායක Aaron Smith අලංකාර පාද චලනයන් කිහිපයක් යොදා ගනිමින් ප්‍රතිවාදී ධවල රේඛාව අභිබවා දිව ගියේ තම කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාව 8ක් දක්වා ඉහළ නංවාලමිනි. (Hurricanes 17 – 08 Highlanders)

ඉන් අනතුරුව ගත වූ කාල පරිච්ඡේදය තුල කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් පන්දුවේ ග්‍රහණය තමන් වෙත නතුකර ගැනීමට දැඩි වෑයමක් ගත් නමුත් අවසන් විනාඩියේ දී උදා වූ දඬුවම් පහර අවස්ථාව සාර්ථක කරගනිමින් තරගයේ ඉරණම වෙනස් කිරීමට Highlanders ක්‍රීඩකයින් අපොහොසත් විය. 

Mitch Hunt ලකුණු ත්‍රිත්වයකින් Landers ලකුණු තීරුව වර්ණවත් කර නමුත් කාලය හරස් වූ නිසාවෙන් ඔවුන්ට අවසන් මොහොතේ දී තරගය ජයග්‍රහණය උඩුයටිකුරු කිරීමට තිබූ අවස්ථාව ගිලිහී ගියේය. (Hurricanes 17 – 11 Highlanders)

අවසන් ලකුණු තත්වය: Highlanders 17 (3T,1C)  – 11 (1T,2P) Hurricanes

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ

  • Highlanders – Mitch Hunt (2P), Aaron Smith (1T)
  • Hurricanes – TJ Perenara (1T), Kobus Van Wyk (1T), Devan Flanders (1T), Jordie Barrett (1C)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<