“මමත් ක්‍රීඩකයෙක් තමයි, ඒත් තාත්තා කෙනෙක් විදිහට මට සෑහෙන්න දුකයි”

IPL 2023

4479
Chandrapal Dayal trying to moral up his son

ලෝකයේ බිහි වූ ප්‍රධාන පෙළේ පන්දු යවන්නන් පවා පිතිකරුවන්ගෙන් මෙවැනි බැටකෑම්වලට ලක් වී ඇති බව පසුගිය ඉරිදා (09) Rinku Singhගෙන් හයේ පහර පහක සංග්‍රහයක් හිමි වූ Yash Dayalගේ පියා Chandrapal Dayal විසින් පවසනවා.

ඔහු විසින් මේ බව පවසන්නේ සිය පුත්‍රයාගේ දරුණු බිඳ වැටීමෙන් නැවත ඔහුව ප්‍රකෘති තත්වයට ගෙන ඒමේ බලාපොරොත්තුවෙනුයි. පසුගිය ඉරිදා දිනයේ Kolkata Knight Riders මැදපෙළ පිතිකරු Rinku Singh විසින් Dayalගේ අවසන් පන්දුවාරයට පිට පිට ම හයේ පහර පහක් එල්ල කරමින් Gujarat Titans කණ්ඩායමට එරෙහිව ඉතිහාසගත ජයග්‍රහණයක් සිය කණ්ඩායමට ළඟා කර දීමට සමත් වූ අතර, ඒ සමඟම ප්‍රහාරයට ලක් වූ Yash Dayal කඳුළු පිරුණු ඇස් වලින් යුතු ව පිටියෙන් ඉවත් ව යන අයුරු කැමරා කාචවල සටහන් වී තිබුණා.

මේ මොහොත වන විට Yashගේ ඥාතීන් කිහිප දෙනෙකුත් එම ක්‍රීඩාංගණයේ තරගය නරඹමින් සිට ඇති අතර, රූපවාහිනිය ඔස්සේ තරගය නරඹමින් සිටි Yashගේ පියා වහාම එම ඥාතීන් සම්බන්ධ කර ගනිමින් Yash අසලට ගොස් කතා බහ කරන මෙන් ඉල්ලා තිබෙනවා.

” මම ඔවුන්ට කිව්වා ගිහින් ඔහු සමඟ කතාබහ කරලා ඔහුගේ ධෛර්යය වඩවන්න කියලා. ඔහු පත් වුන පීඩනය ගැන මට හිතාගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ වගේ වෙලාවට ඔහු තරමක් මිනිසුන්ගෙන් හැංගෙන්න (Introvert) බලනවා.

මමත් කලින් ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙලා හිටියා, ඒත් තාත්තා කෙනෙක් වෙනවා කියන්නේ වෙනම දෙයක්.

මමත් තරමක පීඩනයකට හසු වුනා. මම මගේ පුතා වෙනුවෙන් කනගාටු වුනා.”

තමන් ද කාලයකට පෙර Vijay Hazare කුසලානයට පන්දු යවන්නකු ලෙස සම්බන්ධ වී ඇති බවත්, තමන්ගේ පන්දු වලට ද වරෙක පිට පිට ම හයේ පහර 3ක් එල්ල වී ඇති බවත් පවසන Chandrapal විසින් සිය පුත්‍රයා මුහුණ දුන් තත්වය ඊට වඩා බරපතළ එකක් බව කනගාටුවෙන් යුතු ව පවසනවා.

එමෙන්ම මෙම සිදුවීමෙන් පසුව Yashගේ කණ්ඩායම් සගයින්, විශේෂයෙන්ම එදා තරගයට ක්‍රීඩා නොකළ Gujarat Titans නිත්‍ය නායක Hardik Pandya පවා Yash වෙත පැමිණ ඔහුගේ හිත සැනසීමට උත්සාහ කළ බව Chandrapal විසින් පවසනවා.

“ඔවුන් ඔහුව මැදින් වාඩි කරවලා ඔහුගේ හිත හදන්න උත්සාහ කළා. පස්සේ ඔවුන් ගීත ගායනා කරලා, නැටුවා. ඔහු සමඟ කාලය ගත කරා.

ඔහු මට කිව්වේ පන්දුව හොඳින් ග්‍රහණය කරගන්න බැරි වුනා කියලා, ඒ නිසා පන්දුව අතින් ලිස්සලා ගියා ලු.”

යෝකර්පන්දු වලට දරපු උත්සාහය අසාර්ථක වුනායින් පස්සේ සෙමෙන් යවපු පන්දු වලටත් Rinku රිදෙන්න පහර එල්ල කරපු බව තමයි Yash තමන්ගේ පියාට පවසලා තිබුණේ. Rinku සහ Yash එකිනෙකා ව හොඳින් ම දන්නා කියන අය බවත්, ඒ නිසා ම Yashගේ පන්දු වලට Rinku පහසුවෙන් ම මුහුණ දෙන්නට ඇති බවත් Chandrapal විශ්වාස කරනවා.

ඒ වගේ ම මෙහෙම දෙයක් ඉතිහාසයේ සිදු වුන පළවෙනි වතාවත් මෙය නොවෙන බව Chandrapal විසින් තමන්ගේ පුතාට කියූ බව ඔහු ඉන්දියානු පුවත් සේවය (PTI) වෙත අදහස් දක්වපු මේ සාකච්ඡාවේ දී පවසලා තියෙනවා.

” ඊට පස්සේ මම කිව්වා; ‘ මේක ක්‍රිකට් වලට අලුත් දෙයක් නෙවෙයි. පන්දු යවන්නන්ට පහර වදිනවා. ඒක ලොකු ලොකු පන්දු යවන්නන්ට පවා සිදු වෙනවා.

මහන්සි වෙලා වැඩ කරන්න, බලන්න ඔයා කරපු අඩුපාඩු මොනවා ද කියලා. නමුත් ක්‍රිකට් වල මෙහෙම දෙයක් වුන පළවෙනි වතාව මෙය නෙවෙයි කියලා මතකයේ තියා ගන්න. මාලිංග ( 2012 වසරේ ඕස්ට්‍රේලියාවේ පර්ත් හී දී Virat Kohli විසින් දියත් කළ ප්‍රහාරය), Stuart Broad (Yuvraj Singh විසින් එල්ල කළ හයේ පහර හය) වගේ ලොකු ක්‍රීඩකයිනුත් මේ වගේ අවස්ථා පසු කරලා තියෙනවා.’

ඊට පස්සේ මම ඔහුට කිව්වා මම ඔහු වෙත එන බව. ‘මම ඔයා එක්ක ඉන්නවා…!’ ඔහු නැවත නැඟිටී වී. ඒක අඳුරු රාත්‍රියක්! “

මෙවර IPL තරගාවලිය දිනෙන් දිනම උණුසුම් වෙමින් පවතින අතර, මෙම සියලු තරග සජීවී ව ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times සහ Times of India ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<