Stokesගේ හදවතේ මුල් තැන ලැබෙන්නේ ටෙස්ට් ක්‍රිකට් වලටයි!

224

වත්මන් එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් නායක Ben Stokes සහ පුහුණුකරු Bredon Mccullum විසින් ක්‍රිකට් ලෝකයට නව මානයක් විවර කර දෙමින් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට Bazball තරග රටාව හඳුන්වා දුන්නා.

ඔවුන් විසින් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට හඳුන්වා දුන් මෙම ආක්‍රමණශීලී ක්‍රීඩා රටාව නිසා Stokesගේ නායකත්වය සහ Mccullumගේ පුහුණුකාරීත්වය යටතේ එංගලන්ත කණ්ඩායම සහභාගී වුනු ටෙස්ට් තරග 10න් 9ක්ම ජයග්‍රහණය කිරීමට ද ඔවුන්ට හැකියාව ලැබුණා.

“ටෙස්ට් ක්‍රිකට් ගැන කතාබහට ලක් වෙන විදිහට මම අකමැතියි. අලුත් තරග රටා සහ විවිධ ලීග් තරගාවලි නිසා ටෙස්ට් ක්‍රිකට් වෙනුවෙන් ලැබෙන රසික අවධානය අඩු වෙමින් යනවා. අපි දන්නවා දැන් ක්‍රීඩකයින්ට ටෙස්ට් ක්‍රිකට් වලින් තොරව ගොඩක් අවස්ථා නිර්මාණය කර ගන්න පුළුවන්. නමුත් මම හිතන්නේ ටෙස්ට් ක්‍රිකට් ගොඩක් වැදගත්. මම කැමතිය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන්න, ඒ වගේම එහි දී වෙනස් දෙයක් කරන්න පුළුවන් කියලා මට දැනෙනවා.”

හිටපු එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක Ian Botham සමඟ BBC ගුවන් විදුලි වැඩසටහනකට සහභාගී වෙමින් Ben Stokes මෙසේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ සිය හැඟීම් බෙදා ගත්තා.

එමෙන්ම ඔහුගේ මෙම ආක්‍රමණශීලී ක්‍රීඩා රටාව ප්‍රේක්ෂකයින්ව නැවත ටෙස්ට් ක්‍රිකට් වෙත ආකර්ෂණය කර ගැනීමට හොඳ අවස්ථාවක් බවත් Stokes විශ්වාස කරනවා.

“හැම දවසක් ම උද්‍යෝගිමත්ව ඇදිලා යනවා නම්, මොකක්ද වෙන්න යන්නේ කියලා මිනිස්සු දන්නේ නැත්නම්, ඔවුන් වෙන්න යන දේ ගැන උද්දාමයෙන් යුතුව බලා ගෙන ඉන්න පෙලඹෙනවා නම් තරගයේ ආරම්භක පන්දුව යවන්නත් පෙර ඔබ ජයග්‍රහණය කරලා අවසන්.”

ටෙස්ට් ක්‍රිකට් පිළිබඳ කතාබහෙන් පසුව ඔහු සමඟ වැඩසටහනට එක් වූ Ian Botham විසින් 1981 දී හෙඩිංග්ලි හී දී ඕස්ට්‍රේලියාවට එරෙහිව දියත් කළ ලකුණු 149ක ඉනිම ද (The miracle of Headingley 1981) විශේෂ ඇගයීමකට ලක් කළ අතර, මනුෂ්‍ය මානසික සෞඛ්‍ය පිළිබඳව ද ඉතා විවෘත ලෙස අදහස් දක්වා තිබුණා.

ඉන්පසුව සිය ජීවිතයේ තමන්ව වඩාත්ම උත්ප්‍රෙරණය කළ ක්‍රිකට් ක්‍රීඩකයින් පිළිබඳව ද Stokes විසින් සිය මතකය අවදි කළා.

“Andrew Flintoff කියන තුන් ඉරියව් ක්‍රීඩකයා දෙස බලා ගෙන තමයි මම හැදී වැඩුණේ. ඉස්සර Flintoff Botham සමග සැසඳුවා වගේම, දැන් මාව Flintoff සමග සසඳනවා.

ඒ වගේම මම වඩාත් ම අගය කරන ක්‍රීඩකයා තමයි දකුණු අප්‍රිකාවේ Herschelle Gibbs. Botham ඔහුගේ කාලයේ සිටි සියල්ලන්ට ම වඩා ඉදිරියෙන් සිටියා වගේම, Gibbs කියන්නෙත් තමන්ගේ කාලයේ අනෙක් ක්‍රීඩකයින්ට වඩා ඉදිරියෙන් සිටි කෙනෙක්. මේ වගේ වෙනස් විදිහට ක්‍රීඩා කරන ක්‍රීඩකයින් දෙස බලා ඉන්න මම කැමතියි.”

එමෙන්ම ටෙස්ට් තරග වෙනුවෙන් දැක්වූ ආදරණීය ආමන්ත්‍රණයට වඩා තරමක් පරස්පර අදහසක් Stokes විසින් සීමිත ඕවර ක්‍රිකට් වෙනුවෙන් දැක්වීමත් තරමක් විශේෂ සිදුවීමක්.

“ඒවාට කරන පෙර සූදානම් වල තරමට  ලැබිය යුතු අවධානය ලැබෙන්නේ නැහැ, බලන්න විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් පසුව පැවැත්වුණු එංගලන්ත – ඕස්ට්‍රේලියා එක්දින තරගාවලිය දිහා. ඒකෙන් කිසිම වැඩක් වුනේ නැහැ.”

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

The Indian Express ඇසුරිනි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<