Stokesගේ චෙන්නායි ආගමනය Dhoniගේ IPL ඉරණම තීන්දු කරයි ද?

Indian Premier League 2023

681

එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරන Ben Stokesව ඊයේ (23) රාත්‍රියේ පැවති IPL ක්‍රීඩක වෙන්දේසියේ දී Chennai Super Kings කණ්ඩායම විසින් ඉහළ මුදලකට මිල දී ගත්තා.

2023 IPL තරගාවලිය වෙනුවෙන් පැවති මෙම ක්‍රීඩක වෙන්දේසියේ දී බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තුව වුනේ එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක Sam Curranව නැවත චෙන්නායි කණ්ඩායම මගින් මිල දී ගනු ඇති බවයි.

නමුත් වෙන්දේසිය අතරතුර දී Curran වෙනුවෙන් ලංසු තැබීම නතර කිරීමට චෙන්නායි නියෝජිතයන් තීරණය කළ අතර, පසුව Punjab Kings මගින් IPL ඉතිහාසයේ වැඩිම වටිනාකමක් නියම වූ ක්‍රීඩකයා ලෙස Curranව සිය සංචිතයට එකතු කර ගැනීමට සමත් වුනා.

Curranගේ අහිමි වී යාමෙන් පසුව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක Jason Holderව සිය කණ්ඩායමට ලබා ගැනීමට චෙන්නායි විසින් නැවත උත්සාහ කළත්, එය ද අසාර්ථක වූ අතර, පසුව ඔවුන් තවත් කණ්ඩායම් හතරක් සමඟ තරග වැදීමෙන් අනතුරුව Ben stokesව සිය කණ්ඩායමට එකතු කර ගැනීමට සමත් වුනා.

IPL ඉතිහාසයේ තුන්වැනියට (සම) ඉහළතම වටිනාකමක් හිමි කර ගත් ක්‍රීඩකයා වෙමින් චෙන්නායි වෙතින් Stokesට ඉන්දියානු රුපියල් කෝටි 16.25ක ලංසුවක් හිමි වුනා.

මෑත කාලයේ එංගලන්ත ටෙස්ට් නායකයා ලෙස ඉතා හොඳ තරග වාර්තාවක් පවත්වා ගෙන යන Stokesගේ මෙම එකතු වීම නිසා වත්මන් චෙන්නායි නායක MS Dhoniගේ නායකත්වය ගැලවී ගොස් එය Stokesට හිමි වේවි ද යන ප්‍රශ්නය චෙන්නායි රසිකයින් වෙතින් පැන නැගෙමින් පවතිනවා.

වෙන්දේසියෙන් අනතුරුව CSK (Chennai Super Kings) ප්‍රධානී Kasi Viswanath මහතා විසින් Stokesගේ මෙම මිල දී ගැනීමෙන් චෙන්නායි නායකත්වයේ වෙනසක් සිදු වේවි ද යන ගැටලුවට සිය ප්‍රතිචාරය ලබා දුන්නා.

Stokesව ලබා ගැනීමට හැකි වීම ගැන අපි ගොඩක් උද්දාමයට පත් වෙලා ඉන්නේ, ඔහු අවසානයේ අපි වෙත ආපු එක අපේ වාසනාව.

නායකත්වය ලබා දීමේ අවස්ථාව තියෙනවා (Stokesට), නමුත් එය MSගේ තීරණය. ඔහු ඒ තීරණය කාලය ගත වෙනවාත් සමඟ ගනීවී. ඒ වගේම Kyle Jamieson ආබාධයකට ලක් වෙලා ඉන්න නිසා ගොඩක් අය ඔහුට අවධානයක් ලබා දුන්නේ නැහැ. නමුත් Flemingගෙන් අපට තොරතුරු ලැබුණා ඔහු ඉක්මනට ම සුවය ලබා වී කියලා. අපිට හොඳ කණ්ඩායමක් ඉන්නවා, මේ වතාවේ අපි හොඳින් කරාවි කියලා මම විශ්වාස කරනවා.”

පසුගිය IPL තරගාවලිය (2022) ආරම්භ වීමට පෙර Dhoni විසින් චෙන්නායි නායකත්වයෙන් ඉවත් වූ අතර, නව නායකයා ලෙස Ravindra Jadeja විසින් වැඩ බාර ගත්තා.

නමුත් නායකත්වයේ පීඩනය නිසා Jadeja ද එතරම් සාර්ථක නොවූ අතර, චෙන්නායි කණ්ඩායම ද ලකුණු සටහනේ අවසානය තෙක් පසු බැස්සා. එම නිසා තරගාවලියේ අවසන් භාගයේ දී නැවත Dhoniට චෙන්නායි නායකත්වය ලබා දුන්නා.

2023 IPL තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Time ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<