අවිශ්ක, සදීර, වියස්කාන්ත්, ශෙවෝන් තරු බවට පත් වූ 2022 LPL

Lanka Premier League 2022

351

කණ්ඩායම් 5ක්, ක්‍රීඩාංගණ 3ක දී දින 18ක් පුරා පැවැති ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් LPL ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අදියර අවසන් වෙන්නේ තරගාවලියේ සමස්ත දක්ෂතා අතර ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ වැඩි ප්‍රමාණයක් ලැයිස්තු ගත වෙමින්

ඒ අතර අවිශ්ක ප්‍රනාන්දු, සදීර සමරවික්‍රම, විජයකාන්ත් වියස්කාන්ත් සහ ශෙවෝන් ඩැනියෙල් ඉදිරි අසුන් වෙන්කර ගැනීම කැපී පෙනුණා.

දක්ෂතා දැක් වූ පිතිකරුවෝ

තරගාවලියේ වැඩිම දක්ෂතා සහිත පිතිකරුවන් ලැයිස්තු ගත කිරීමේ දී පළමු 10 දෙනා අතරින් 7 දෙනෙක් ම ශ්‍රී ලාංකික පිතිකරුවන් වීම විශේෂත්වයක්.

අවිශ්ක ප්‍රනාන්දු

තරගාවලියේ වැඩිම ලකුණුලාභියා මෙන් ම අවසන් මහා තරගයේ වීරයා ලෙසින් ද සම්මාන දිනා ගන්නේ Jaffna Kings කණ්ඩායමේ 24 හැවිරිදි යොවුන් දකුණත් පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු.

ඔහු තරග 10ක දී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 339ක් වන අතර ඊට Dambulla Aura කණ්ඩායමට එරෙහිව පිට පිට ලබා ගත් අර්ධ ශතක 2ක් සමඟ අවසන් මහා තරගයේ දී Colombo Stars කණ්ඩායමට එරෙහිව ලබා ගත් අර්ධ ශතකයක් ද ඇතුළත්.

තරගාවලියේ අවිශ්ක වාර්තා කරන ලද මෙම ලකුණු සංඛ්‍යාවත් සමඟින් ඔහුගේ තරග 93ක් වන විස්සයි විස්ස පිටියේ ලකුණු 2000 සීමාව පසු කිරීමට ද සමත් වුනා.

සදීර සමරවික්‍රම

කෙසේ වෙතත් තරගාවලියේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය අනුව පෙරමුණ ගැනීමට ජයග්‍රාහී Jaffna Kings කණ්ඩායමේ ම සදීර සමරවික්‍රම සමත් වුනා. ඔහු තරග 9ක ඉනිම් 9ක දී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 294ක්. එහි සාමාන්‍ය 58.80ක් වන අතර ඊට නොදැවුණ ඉනිම් 4ක් ද ඇතුළත්. මේ දක්ෂතා හේතුවෙන් තරගාවලියේ වීරයා ලෙසින් ද සදීර සමරවික්‍රම නම් කෙරුණා.

සදීර තරගාවලියේ වැඩිම ලකුණු ලබා ගත් පිතිකරු ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත් ක්‍රීඩකයා ද වූ අතර, තරග 80ක් වන ඔහුගේ විස්සයි විස්ස පිටියේ ලකුණු 2000 පසු කිරීමට ද ඔහු මෙම තරගාවලියේ දී සමත් වුනා.

තරගාවලියේ වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවන් 5 දෙනා
Player Team M I NO Runs HS Ave 50 100
1 අවිශ්ක ප්‍රනාන්දු Jaffna Kings 10 10 1 339 54 37.66 3 0
2 සදීර සමරවික්‍රම Jaffna Kings 9 9 4 294 62* 58.80 1 0
3 දිනේෂ් චන්දිමාල් Colombo Stars 11 11 2 287 63 31.88 1 0
4 Andre Fletcher Kandy Falcons 9 9 2 266 102* 38.00 0 1
5 කමිඳු මෙන්ඩිස් Kandy Falcons 10 9 1 260 58 32.50 2 0

තරගාවලියේ එක ම ශතකලාභියා වූයේ Kandy Falcons  කණ්ඩායමේ 35 වියැති දකුණත් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක Andre Fletcher. ඔහු Colombo Stars කණ්ඩායමට එරෙහිව පන්දු 67කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 3ක් සමඟින්  නොදැවී ලකුණු 102ක් ලබා ගත්තා.

එය ඔහුගේ විස්සයි විස්ස තරග දිවියේ තෙවැනි ශතකයයි. මෙම ශතකයත් සමඟින්  ඔහු තරගාවලියේ තරග 9ක දී ලකුණු 266ක් ලබා ගනිමින් පිතිකරු ලැයිස්තුවේ සිව්වැනි ස්ථානයට පත් වෙන අතර වැඩිම හයේ පහර ලැබූ පිතිකරුවන් අතර තෙවැනි ස්ථානයට පත් වෙනවා. ඔහු එල්ල කරන ලද හයේ පහර සංඛ්‍යාව 11ක්.

ඔහුට අමතර ව Jaffna Kings කණ්ඩායමේ 21 හැවිරිදි ඇෆ්ගනිස්තාන ක්‍රීඩක Rahmanullah Gurbaz අර්ධ ශතක 2ක් සමඟින්  ලකුණු 249ක් ලබා ගනිමින් පිතිකරු ලැයිස්තුවේ 7 වැනි ස්ථානය දිනා ගනිද්දී, තරගාවලියේ වැඩිම හයේ පහර එල්ල කළ ක්‍රීඩකයා බවට ද පත් වුනා. ඔහු එල්ල කරන ලද හයේ පහර සංඛ්‍යාව 15ක්. ඉන් හයේ පහර 5ක් ම Dambulla Aura කණ්ඩායමට එරෙහිව එල්ල කරමින් ඉනිමක වැඩිම හයේ පහර එල්ල කළ ක්‍රීඩකයා ලෙසින් ද Gurbaz පත් වෙනවා.

ඊට අමතර ව විදෙස් ක්‍රීඩකයන් අතරින් ඉහළ පිතිකරුවන් 10 දෙනා අතරට එක් වූයේ Colombo Stars කණ්ඩායමේ 37 හැවිරිදි එංගලන්ත ක්‍රීඩක Ravi Bopara. ඔහු තරග 10ක දී ලකුණු 245ක් ලබා ගනිමින් 8 වැනි ස්ථානය ලබා ගත්තා.

මෙම ලැයිස්තුවේ 6 වැනි අසුන තරග 9ක දී ලකුණු 256ක් ලබා ගත් Galle Gladiators කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් ද, තරග 10ක දී ලකුණු 244ක් ලබා ගත් Kandy Falcons  කණ්ඩායමේ අශේන් බණ්ඩාර ද සහ Colombo Stars නියෝජනය කළ චරිත් අසලංක තරග 11ක දී ලකුණු 242ක් ලබා ගනිමින් 10 වැනි ස්ථානයට ද පත් වුනා. චරිත් හයේ පහර 12ක් එල්ල කරමින් තරගාවලියේ වැඩිම හයේ පහර එල්ල කළ ක්‍රීඩකයන් අතර දෙවැනි අසුන හිමි කර ගැනීමට ද සමත් වෙනවා.

මේ අතර තරගාවලියේ දක්ෂතා දැක්වූ පිතිකරුවන් අතරට එක් වීමට Galle Gladiators කණ්ඩායමේ සහන් ආරච්චිගේ සමත් වීම ද කැපී පෙනුණා. 26 හැවිරිදි මේ වමත් පිතිකරුවා LPL තරගාවලියේ තමන් මුහුණ දුන් එක ම තරගයේ දී පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමඟින්  ලකුණු 53ක් ලබා ගනිමින් මේ දක්ෂතා ව කළා.

පන්දු යවන්නන්ගේ දක්ෂතා

තරගාවලියේ පන්දු යවන්නන් අතරින් පෙරමුණ ගැනීමට සමත් වෙන්නේ Kandy Falcons කණ්ඩායමේ විදෙස් ක්‍රීඩක Carlos Brathwaite. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ දකුණතින් වේගපන්දු යවන 34 හැවිරිදි ඔහු ලබා ගත් කඩුලු සංඛ්‍යාව 18ක්. ඒ සඳහා ඔහු පන්දු යවන්නේ ඉනිම් 8ක දී පමණයි.

ඔහුගේ දක්ෂතා අතර ප්‍රමුඛව ලියැවෙන්නේ Galle Gladiators කණ්ඩායමට එරෙහිව ලකුණු 14කට ලබා ගත් කඩුලු 4යි. ඊට අමතර ව Jaffna Kings කණ්ඩායමට එරෙහිව ලකුණු 18කට ලබා ගත් කඩුලු 4ක් ද එහි වෙනවා.

එතැන් සිට ස්ථාන 5ක් ම වෙන් වෙන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වෙතයි.

තරගාවලියේ වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නන් 5 දෙනා
Player Team M I Ov. M R W Best
1 Carlos Brathwaite Kandy Falcons 8 8 26.0 2 178 18 4/14
2 නුවන් තුෂාර Galle Gladiators 9 9 33.5 1 252 14 3/29
3 කසුන් රාජිත Colombo Stars 8 8 26.2 1 166 13 5/22
4 විජයකාන්ත් වියස්කාන්ත් Jaffna Kings 8 8 32.0 0 214 13 3/24
5 බිනුර ප්‍රනාන්දු Jaffna Kings 5 5 19.0 2 135 12 4/22

නුවන් තුෂාර

පන්දු යවන්නන් අතර දෙවැනි ස්ථානය Galle Gladiators කණ්ඩායමේ දකුණතින් වේගපන්දු යවන 28 හැවිරිදි නුවන් තුෂාර සතු වෙනවා. ඔහු තරග 9ක දී ලබා ගන්නා ලද කඩුලු සංඛ්‍යාව 14ක්.

නුවන් මේ දක්වා විස්සයි විස්ස තරග 66ක සහභාගී වෙමින් ලබා ඇති කඩුලු සංඛ්‍යාව 85ක්.

කසුන් රාජිත

තරගාවලියේ කඩුලු ලාභීන් අතර තෙවැනි ස්ථානය Colombo Stars කණ්ඩායමේ දකුණතින් වේගපන්දු යවන 29 හැවිරිදි කසුන් රාජිත සතු වෙනවා. ඔහු තරග 8ක දී කඩුලු 13ක් දවා ගනිමින් මෙම අසුන වෙන්කර ගන්නවා.

Dambulla Aura කණ්ඩායමට එරෙහිව ලකුණු 22කට කඩුලු 5ක් දවා ගැනීම ඔහුගේ තරග 56කින් යුත් විස්සයි විස්ස පිටියේ හොඳම පන්දු යැවීම වූ අතර එය තරගාවලියේ තනි ක්‍රීඩකයෙක් පෑ ඉහළ ම දක්ෂතාව මෙන් ම කඩුලු 5ක් වාර්තා වූ එක ම අවස්ථාව බවට ද පත්වුනා.

මෙම දක්ෂතාවත් සමඟින්  කසුන් තමන්ගේ තරග 56කින් යුත් විස්සයි විස්ස තරග පිටියට කඩුලු 83ක් එක් කර ගැනීමට සමත් වුනා.

විජයකාන්ත් වියස්කාන්ත්

වේගපන්දු යවන්නන් තිදෙනෙක්ට පසුව මෙම ලැයිස්තුවේ සිව්වැනි අසුනට හිමිකම් කියන්නේ Jaffna Kings කණ්ඩායමේ පා දඟපන්දු යවන 21 හැවිරිදි යොවුන් ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත්.

ඔහු තරග 8ක දී කඩුලු 13ක් ලබා ගනිමින් මෙම අසුන වෙන්කර ගන්නවා. කඩුලු ලාභී ලැයිස්තුවේ පළමු පන්දු යවන්නන් 5 දෙනා අතර දඟපන්දු යවන්නෙක් වෙනුවෙන් අසුනක් වෙන් කර ගන්නේ වියස්තාන්ත් පමණක් වීම විශේෂයි. තරගාවලියේ නැගී එන ක්‍රීඩකයා බවට පත් වීමට ද වියස්කාන්ත් සමත් වූවා.

යාපනය මධ්‍ය මහා විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි වියස්කාන්ත් මේ දක්වා ක්‍රීඩා කර ඇත්තේ විස්සයි විස්ස තරග 13කට පමණක් වන අතර ලබා ඇති කඩුලු සංඛ්‍යාව 19ක්.

බිනුර ප්‍රනාන්දු

තරගාවලියේ අඩුම පන්දුවාර ප්‍රමාණයකින් මෙම ලැයිස්තුවට එක් වූ ක්‍රීඩකයා වන්නේ Jaffna Kings කණ්ඩායමේ වමතින් වේගපන්දු යවන 27 හැවිරිදි බිනුර ප්‍රනාන්දු. ඔහු පන්දුවාර 19ක් පමණක් යවමින් ලබා ගත් කඩුලු සංඛ්‍යාව 12ක්.

එම කඩුලු අතරට Dambulla Aura කණ්ඩායමට එරෙහිව ලකුණු 22කට කඩුලු 4ක් දවා ගත් බිනුර එය තම තරග දිවියේ හොඳම පන්දු යැවීම බවට ද පත් කර ගන්නවා.

එම දක්ෂතාවත් සමඟින්  ඔහු මේ දක්වා විස්සයි විස්ස තරග 70කට ක්‍රීඩා කරමින් ලබා ඇති කඩුලු සංඛ්‍යාව 93ක්.

ඉන්පසුව මෙම ලැයිස්තුවේ 6 වැනි ස්ථානය Galle Gladiators කණ්ඩායමේ නුවන් ප්‍රදීප් (කඩුලු 11) ද, 7 වැනි ස්ථානය Kandy Falcons නියෝජනය කළ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක Fabian Allen (කඩුලු 10) ද, 8 වැනි ස්ථානය Jaffna Kings කණ්ඩායමේ එංගලන්ත ක්‍රීඩක James Fuller ද, 9 වැනි ස්ථානය එම කණ්ඩායමේ ම මහීෂ් තීක්ෂණ (කඩුලු 10) ද සහ 10 වැනි ස්ථානය Kandy Falcons කණ්ඩායමේ වනිඳු හසරංග (කඩුලු 10) ද සතු කර ගන්නවා.

වනිඳු හසරංග

තරගාවලියේ කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළ එක ම ක්‍රීඩකයා බවට පත් වීමට Kandy Falcons කණ්ඩායමේ නායක වනිඳු හසරංග සමත් වෙනවා. ඔහු Colombo Stars කණ්ඩායමට එරෙහිව මේ දක්ෂතාව දක්වන්නේ දිනේෂ් චන්දිමාල්, Benny Howell සහ සීක්කුගේ ප්‍රසන්න දවා ගනිමින්.

එමෙන් ම පිතිකරුවෙක් ලෙස ද වනිඳු තරග 10ක ඉනිම් 7ක දී ලකුණු 118ක් ලබා ගනිමින් දක්ෂතා දක්වනවා. ඊට Colombo Stars කණ්ඩායමට එරෙහිව පන්දු 34ක දී හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් සමඟින්  නොදැවී වාර්තා කරන ලද ලකුණු 77ක් ද ඇතුළත්. එය වනිඳුගේ විස්සයි විස්ස තරග දිවියේ ඉහළ ම දක්ෂතාවයි.

වනිඳු මේ දක්වා විස්සයි විස්ස තරග 133කට ක්‍රීඩා කරමින් ලකුණු 1388ක් සහ කඩුලු 183ක් දවා ගනිමින් තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩකයන් අතර ඉදිරියෙන් ම පසු වෙනවා.

ශෙවෝන් ඩැනියෙල්

තරගාවලියට එක්වූ ළාබාලතම ක්‍රීඩකයා වූයේ Dambulla Aura කණ්ඩායමේ ශෙවෝන් ඩැනියෙල්. කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය නියෝජනය කරන ඔහු තවමත් 18 හැවිරිදි වියේ ක්‍රීඩකයෙක්.

තමන් LPL තරගාවලියට එක් කර ගැනීමේ විශ්වාසය සාක්ෂාත් කළ ඔහු Galle Gladiators කණ්ඩායමට එරෙහි ව එංගලන්ත ක්‍රීඩක Jordan Cox එක් ව පළමු කඩුල්ලට ලකුණු 163ක සබඳතාවක් එක් කරනවා. එය තරගාවලියේ ඕනෑම කඩුල්ලක් සඳහා වන ඉහළ ම ලකුණු සබඳතාවයි.

එහි දී ශෙවෝන් ඩැනියෙල් පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 5ක් සමඟින්  ලකුණු 80ක් ලබා ගන්නවා. එය තරගාවලියේ තනි ක්‍රීඩකයෙක් විසින් ඉනිමක වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාවන් අතර දෙවැනි අසුනට හිමිකම් කීමේ දක්ෂතාව බවට පත් වෙනවා.

එමෙන් ම එම ඉනිම ශෙවෝන් ඩැනියෙල්ගේ තරග 16ක් විස්සයි විස්ස පිටියේ ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වුනා. ඔහු මෙම තරගාවලියේ තරග 8ක ඉනිම් 8ක දී වාර්තා කරගත් ලකුණු සංඛ්‍යාව 175ක්.

තවමත් විස්සයි විස්ස තරග 16කට පමණක් ක්‍රීඩා කර ඇති ඩැනියෙල් ලබා ඇති ලකුණු සංඛ්‍යාව 363ක් වන අතර එහි සාමාන්‍ය 27.92ක්.

මෙවර LPL තරගාවලිය ගැන ඔබේ අදහස මොකද්ද? පහළින් Comment කරන්න.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<