දැවැන්තයන්ට අභියෝග කළ පිහිනුම් පුංචා “රශේන්”

586
Rashen

දරුණු රළ හමුවේත්, නිසල රළ හමුවේත් ඔහු එක සේ ය. තමන්ගේ ඉලක්කය කුමක්ද? එය ජය ගැනීම ඔහුගේ එකම උත්සාහයයි. මුහුදු පිහිනුම් පිටියේ ප්‍රවීණයන්ට සේ ම දැවැන්තයන්ට ද අභියෝග කළ කෙසඟ සිරුරකින් සහ එතරම්ම උසකින් ද නොවූ 15 වියැති රශේන් දිල්ශාන්ගේ කතාවයි මේ ThePapare.com හී ඇතිරෙන්නේ.

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට පිහිනුම් තරු 36ක්

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන ශ්‍රී ලංකා පිහිනුම්

රශේන්ගේ ගම මුහුදු පිහිනුම් ක්‍රීඩකයන් විශාල ප්‍රමාණයකගේ ජන්ම භූමි වන අම්බලන්ගොඩ, ඌරවත්ත ප්‍රදේශය. හරියටම කියනවා නම් තෙරෙක් නොපෙනෙන මුහුදටත්, මාදම්පා ගඟටත් මැදිව පිහිටි ගොඩ බිමේ. වඩාත් සමීප මාදම්පා ගඟ. ඒ නිසා පුංචි රශේන්ට මාදම්පා ගඟ කවදාවත් අමුත්තෙක් වුනේ නැහැ. නිදහසේ ඉන්න සෑම වේලාවක්ම රශේන් ගත කළේ මාදම්පා ගඟ අයිනෙ. 

මෙහෙම ඉන්න රශේන්ව දවසක් තම සහෝදරයා වන මල්ෂ දේශාන් සමඟ මාදම්පා ගඟේ පිහිනන්න එක්ක යන්න පියා තීරණය කරනවා. ඒ වෙද්දී රශේන්ට අවුරුදු 9ක් විතර ඇති කියලයි කියන්නෙ. රශේන්ගෙ අයියා, මල්ෂ ඒ වෙද්දී අම්බලන්ගොඩ ලයන්ස් ජල ක්‍රීඩා සමාජයේ පුහුණු සාමාජිකයෙක්. ඔවුන් පුහුණු වුනේ මාදම්පා ගඟේ. රශේන්ගේ ඒ ගමන මේ වගේ ගමනක ආරම්භයක් වෙයි කියලා කවුරුත් හිතල තිබුණෙ නැහැ. 

“පුතා පුංචිම කාලෙ පිහිනුම්වලට ගියත්, එයා දිගටම පිහිනුම් ක්‍රීඩාවේ සිටියි කියා අපි කවුරුත් හිතුවේ නැහැ. එයා ගොඩක් කුලෑටියි. වැඩි ආස්සරයක් කවුරුත් එක්කවත් නැහැ. ගොඩක් වෙලාවට ඉන්නේ තනියම තමයි. ඒ දවස්වල සෙල්ලම් කරන්නවත් කවුරුත් එක්කවත් එකතු වුනේ නැහැ. එහෙම ළමයෙක් අද ලංකාවේම දක්ෂ පිහිනුම් ක්‍රීඩකයෙක් වුන එක ගැන තිබෙන්නේ කිව නොහැකි තරමේ සතුටක්.” මේ රශේන්ගේ මව වන වයි. ප්‍රියන්ති මහත්මිය පැවසූ දෑ ය. 

තමන් සහභාගී වූ පළමු තරගයෙන්ම ජයග්‍රහණය ලබා ගනිමින් පිහිනුම් ක්‍රීඩාවට පිවිසෙන රශේන් මේ වසරේ පැවති වැල්ලවත්ත කිංරෝස් ජල ක්‍රීඩා සමාජය සංවිධානය කළ කිලෝ මීටර් 10 මුහුදු පිහිනුම් තරගය, ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය සංවිධානය කළ ගාලු මුවදොර කිලෝ මීටර් 10 මුහුදු පිහිනුම් තරගය සහ මාතර පොල්හේන්ගොඩ ජල ක්‍රීඩා සමාජය සංවිධානය කළ කිලෝ මීටර් 2 මුහුදු පිහිනුම් තරග ජයග්‍රහණය කරන්න සමත් වුනා. ඊට අමතරව ගල්කිස්සේ පැවති සැතපුම් 2 මුහුදු පිහිනුම් තරගයේ දී දෙවැනි ස්ථානයත්, අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය ජල ක්‍රීඩා සංගමය සංවිධානය කළ සැතපුම් 2 මුහුදු පිහිනුම් තරගයේ තෙවැනි ස්ථානයත්  දිනා ගත්තේ ඔහු. ඊට අමතරව පසුගිය වසරේ ද තරග රාශියකින් ජයග්‍රහණය කිරීමට අශේන් සමත් වූවා. 

“මම මුලින්ම තරගයකට සහභාගී වෙන්නේ අම්බලන්ගොඩ ලයන්ස් ජල ක්‍රීඩා සමාජය මාදම්පා ගඟේ පැවැත්වූ තරගයට. එකේ දී මට ජයග්‍රහණය කරන්න හැකි වෙනවා. ඒත් මම ඒ තරගයට සහභාගී වුනේ ජයග්‍රහණයක් බලාගෙන නෙමේ. පුහුණුකරු චතුක සර් වගේම ගෙදර අයත් කිවුවා පුහුණුවීම්වලට යන නිසා ඒ තරගවලට සහභාගී වෙන්න කියලා. මම පිහිනුම් පුහුණුවීම්වලට සහභාගී වුනේ තරගවලට සහභාගී වෙන්න නෙමේ. එහෙම ඉලක්කයක් ඒ දවස්වල මගේ තිබුණෙ නැහැ. අනිත් එක් මම පීනනවා කියලා ඒ දවස්වල පාසලේ අයවත් දැනගෙන හිටියේ නැහැ.” රශේන් තමන්ගේ පිහිනුම් ක්‍රීඩාවේ ආරම්භය ගැන සිහිපත් කළේ එලෙසයි.  

රශේන් මව හා පියා සමග

එලෙස ක්‍රීඩාව ආරම්භ කළ රශේන් මෙරට පැවැත්වෙන දීර්ඝතම පිහිනුම් තරගවල වර්තමාන ශූරයා ද වෙනවා. ඒ වැල්ලවත්ත සහ ගාලු මුවදොර කිලෝ මීටර් 10ක් දුරැති පිහිනුම් තරගවලට එක් වෙමින් ලැබූ ජයග්‍රහණ නිසා. 

“ඒ තරග අතරින් මට විශාල ම අභියෝගයක් වූ තරගය තමයි ගෝල්ෆේස්වල තිබුණ තරගය. ඒකට සහභාගී වුනේ 60ක් විතර පිරිසක්. ඒ අතුරින් තරගය නිමා කළේ අපි විසි දෙදෙනෙක් විතරයි. වැඩි හරියක්ම එක් වුනේ හමුදා කණ්ඩායම් නියෝජනය කළ පළපුරුදු ක්‍රීඩකයන්. තරගයට සහභාගී වෙද්දී පුංචි තිගැස්මක් තිබුනත් මම ඉතා ආසාවෙන් ඒ තරගයට සහභාගී වුනා. මොකද මට මේ පළපුරුදු ක්‍රීඩකයන්ගෙන් ඉගෙන ගැනීමට බොහෝ දේවල් තිබෙන බව දැනුණා. ඒත් මට ඒ සියලු දෙනා පරාජය කරමින් ජයග්‍රහණය කරන්න හැකි වුනා.” රශේන් තුළ ඇත්තේ අහිංසක සතුටකි. ඔහුට මෙම තරගය නිමා කිරීමට පැය 2: 29:11ක කාලයක් ගත වුනා. පැය දෙකක කාලයක් එක දිගට ඇවිදගන්නට අපහසු අප පිහිනීම ගැන සිතනුයේ කෙසේ ද?

“මට ඒක එතරම් දැනුණ දෙයක් නෙමේ. මම ඊට පෙර කිලෝ මීටර් 5 තරගවලට ද සහභාගී වෙලා තිබුණා. එක තරගයක මට හිමි වුනේ 10 වැනි ස්ථානය. ඒත් මම දැනගෙන හිටියා ඉතා ඉක්මනින් ඔවුන් සමඑඟ පිහිනීමෙන් ඔවුන්ව පහුකරන්න මට හැකි වේවි කියලා. ඒත් පුංචි සැකයක් තිබුණෙ ඔවුන් දිනපතා පුහුණුවිම් කරන හමුදා සාමාජිකයන් සහ මට වඩා වයසින් වැඩි වීම. ඒත් මේ තරග ජයග්‍රහණයත් සමඟ මට තේරුණා තරග ජයග්‍රහණය කිරීමට වයස සේ ම ඇඟ පතත් වැදගත් නැහැ කියලා.” රශේන් පැවැසුවා. 

රශේන් මේ කුමන ජයග්‍රහණයන් වාර්තා කළ ද තම නිජබිමේ පැවති සැතපුම් දෙකේ මුහුදු පිහිනුම් තරගයේ දී ලබා ගන්නේ තෙවැනි ස්ථානය. ඒ ගැන නම් රශේන් තුළ ඇත්තේ තරමක කනස්සල්ලක්. 

“ඇත්තට ම මට ඒ තරගය හරියට කරගන්න ලැබුණේ නැහැ. ඒ ගැන ලොකු දුකක් තියෙනවා. අම්ම තාත්ත වුනත් මම ගැන ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටියා මේ තරගය ගැන. මොකද ඒ අයට මගේ තරග බලන්න හැමදාම කොළඹ එන්න බැහැ. ඒ වෙනුවෙන් විශාල වියදමක් දරන්න ඕන. ගමේ තිබුණ එකම තරගයත් මට දිනා ගන්න ලැබුණෙ නැහැ. ඒත් ලබන වසරේ දී මම මේ තරගය ජයග්‍රහණය කරනවා.” අශේන් ස්ථීර කරමින් පවසනවා.  

රශේන් පුහුණුකරු චතුක සමග

රශේන් ඉගෙනුම ලබන්නේ අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ 11 වසරේ. ඔහු පාසලේ පිහිනුම් කණ්ඩායමට එක් වෙන්නෙ පෞද්ගලිකව සහභාගී වූ තරග කිහිපයකින් පසුව. අද ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ පිහිනුම් ජයග්‍රහණවලට රශේන්ගේ දක්ෂතා විශාල ලෙස ඉවහල් වෙනවා. කෙසේ වෙතත් රශේන් කුඩා කළ සිටම පිහිනුම් පුහුණුවීම් කටයුතු කරන්නේ තනිවම. ඒ චතුක දුලාංජ ද සිල්වා මහතාගේ පුහුණුකාරීත්වයෙන් යුත් ලයන්ස් ජල ක්‍රීඩා සමාජය යටතේ.

“චතුක සර් තමයි පුතාව මේ තත්ත්වයට ගෙනාවේ. ඔහු විශාල කැපවීමක් කරනවා. අපට පුතාව මේ තරගවලට එක්ක ගෙන යන්න වෙලාවක් නැහැ. ඒත් චතුක සර් පුතා ගැන සොයා බලමින් අවශ්‍ය සෑම දෙයක් ම කරනවා. පුතාගේ දක්ෂතාවලට බලපෑවේ චතුක සර්ගෙ මඟ පෙන්වීම තමයි. ඒ වගේම ලයන්ස් ජල ක්‍රීඩා සමාජයේ සභාපති සුරංග මහතාත් මේ පිටුපස සිටිනවා.” රශේන් ගේ පියා චමින්ද නිශාන් මහතා පැවැසුවා. 

“රශේන් පිහිනුම් ක්‍රීඩාවට සම්පතක්. ඔහු නිහඬ, එහෙත් දක්ෂතාවලින් සපිරි ක්‍රීඩකයෙක්. ඔහුව මේ තත්ත්වයට ගේන්න මට එතරම් මහන්සි වෙන්න ඕන වුනේ නැහැ. අනික් ළමුන්ට වඩා ඔහු යමක් ඉතා ඉක්මනින් ධාරණය කර ගන්නවා. ඒ වගේම ඒ ඉලක්කයකට ඉතා ඉක්මනින් යනවා. අනිත් එක තමයි මෙයා නිතරම ඇසුරු කළේ පිහිනුම්වලින් එයාට වඩා ඉහළ දක්ෂතා දැක් වූ අය. ඔවුන්ගේ ආභාෂයත් රශේන්ගේ දක්ෂතාවලට ඉවහල් වෙන්න ඇති.” පුහුණුකරු චතුක දුලාංජ ද සිල්වා මහතා පැවැසුවා. 

රශේන් කොතරම් දක්ෂතා දැක්වූවත් තවමත් රට වෙනුවෙන් තම දක්ෂතා දැක්වීමට සමත් වෙලා නැහැ. ඔහුට රට වෙනුවෙන් දක්ෂතා දැක්වීමට ඉන්දීය සහ මැලේසියා සංචාර දෙකකට අවස්ථා හිමි වෙනවා. ඒත් ඒ අවස්ථා දෙකම ශ්‍රී ලංකා පිහිනුම් සංගමයේ දුර්වලතා හේතුවෙන් මඟ හැරෙනවා. 

ඒ කෙසේ වූව ද රශේන්ගේ බලාපොරොත්තුව හෙට දවසේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පිහිනුම් ක්‍රීඩාවෙන් උපරිම සාධාරණයක් තම මව්බිමට ලබා දීමයි.

“ලැබුණ තරගවලට සහභාගී වෙන්න බැරි වීම ගැන දුකක් ඇති වෙනවා. ඒත් මම හිතනවා මට ඉතා ඉක්මනින් ශ්‍රී ලංකා පිහිනුම් කණ්ඩායම හා එක්වෙන්න ලැබෙයි කියලා. එම තරගවලට සහභාගී වෙලා රටට කීර්තියක් අත් කර දීම තමයි මගේ එකම බලාපොරොත්තුව.” රශේන් පවසනවා.

රශේන් මේ වන විට දක්ෂතා දක්වා ඇත්තේ මුහුදු පිහිනුම් තරගවල දී පමණයි. සහභාගී වූ පිහිනුම් තටාක තරග කිහිපයේ දී ඔහුට එතරම් ම කතා බහට ලක්වෙන දක්ෂතා දැක්වීමට හැකි වෙන්නේ නැහැ.  “රශේන් පූල් මීට්වලට සූදානමින් ඉන්නේ. ඔහු ඒ අංශයෙනුත් දක්ෂතා දක්වයි කියන විශ්වාසය අපට තිබෙනවා. පසුගිය අවස්ථා දෙක තුනක දී තිබූ මීට් ඔහු අසනීප වී සිටීම නිසා මඟ හැරුණා. නමුත් ඒ තරගවල ජයග්‍රහණය කළ ක්‍රීඩකයන්ගේ කාලය හා සසඳද්දී රශේන් ඉදිරියෙන් සිටිනවා. කිලෝ මීටර් 5-10 තරගවල ප්ලේස් කළා වගේම ඉදිරියේ දී රශේන්ට පූල් මීට්වලත් ප්ලේස් කරන්න පුළුවන්.” පුහුණුකරු චතුක දුලාංජ මහතා පැවැසුවා. 

රශේන්ගේ දක්ෂතා කෙතරම් වූවත් පවතින ආර්ථික අපහසුතා ද ඒ තරමින්ම වේ. ධීවර කර්මාන්තයේ යෙදෙන රශේන්ගේ පියාගේ දෛනික ආදායම ඔවුන්ගේ කුටුම්බය රකින්නට ද අශේන්ගේ අඩු-පාඩු සහ අවශ්‍යතාවන් පිරිමහ ගන්නට ද වැය කළ යුතුයි. එය ඉතා අපහසු කටයුත්තක් වූවත් අශේන්ගේ මවත් පියාත් ඒ සියලු වගකීම් ඉතා බැති සිතින් ඉවසමින් ඉටු කරන්නට පැකිළෙන්නේ නැහැ.  

ඊට අශේන්ගේ මවගේ සහෝදරයෙක් වන වයි. අසන්ත නලීන් මහතා ද සහයෝගය දක්වන බැව් නිවැසියෝ පවසනවා. එමෙන් ම මේ වන විට විදෙස් රටක ජිවිතාරක්ෂක පිහිනුම්කරුවෙක් ලෙසින් කටයුතු කරන මල්ෂ දේශාන් සොයුරා ද තම කුඩා සොයුරාගේ ක්‍රීඩා දිවියට තමන්ට හැකි අයුරින් සහයෝගය දක්වන්න පැකිළෙන්නේ නැහැ.

පිහිනුම් ක්‍රීඩාවෙන් හෙට දවසේ දී ශ්‍රී ලංකාව දිනන්නට පෙරුම් පුරන රශේන් දිල්ෂාන්ට ThePapare.com හි උණුසුම් සුබ පැතුම්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<