ආසියානු ක්‍රීඩා උළෙල ගැන BCCI වෙතින් විශේෂ තීරණයක්

Asian Games 2023

13751

චීනයේ Hangzhou හිදි පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙලට ඉතිහාසයේ පළමු වතාවට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සහභාගී කරවීමට BCCI විසින් තීරණය කර තිබෙනවා.

මෙහි දී ඉන්දීය කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායමට මෙවර ආසියානු ක්‍රීඩා උළෙල වෙනුවෙන් සහභාගී විය හැකි වුවත්, පිරිමි ජාතික කණ්ඩායමට එක්දින ලෝක කුසලානයට සූදානම් වීමට අවශ්‍ය නිසා දෙවැනි පෙළ කණ්ඩායමක් ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී කරවීමට BCCI විසින් තීරණය කර ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.

“BCCI විසින් 2023 සැප්තැම්බර් මාසයේ දී චීනයේ Hangzhou හිදි පැවැත්වීමට සැලසුම් කර ඇති ආසියානු ක්‍රීඩා උළෙල සඳහා කාන්තා සහ පිරිමි දෙඅංශයෙන් ම කණ්ඩායම් පිටත් කර යවනු ඇත. කෙසේ වෙතත් ආසියානු ක්‍රීඩා උළෙල සහ ක්‍රිකට් ලෝක කුසලානයේ කාලසටහන් අතිඡේදනය වීම නිසා (එකම කාලයක පැවැත්වෙන නිසා) ලෝක කුසලානයට සහභාගී නොවන ක්‍රීඩකයින් BCCI විසින් ආසියානු ක්‍රීඩා උළෙල සඳහා නම් කරනු ඇත.”

පසුගිය සිකුරාදා පැවැත්වුණු Apex Council හමුවෙන් පසුව BCCIයේ ඉදිරි සැලසුම් පිළිබඳ අදහස් දැක්වූ BCCI ලේකම් Jay Shah විසින් මේ බව පවසා තිබෙනවා.

2023 ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බර් 23 සිට ඔක්තෝබර් 8 දක්වා පැවැත්වීමට නියමිත අතර, 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 05 සිට නොවැම්බර් 19 තෙක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව මෙම ගැට‍ලුව BCCI වෙත පමණක් නොව ආසියානු කලාපයෙන් ලෝක කුසලානය නියෝජනය කිරීමට නියමිත ශ්‍රී ලංකාව, පාකිස්තානය, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය යන රට වලට ද බලපානු ඇති බව වටහා ගත හැකි.

එමෙන්ම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ද පැවැත්වීමට සැලසුම් කර ඇති නිසා කණ්ඩායම්වල ක්‍රීඩකයින් හට තරමක් වෙහෙසකර කාලසටහනකට මුහුණ දීමට සිදු වී තිබෙනවා.

ඒ අනුව BCCI විසින් ලෝක කුසලානය සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් සහ අතිරේක ක්‍රීඩකයින් තිදෙනෙකු නම් කිරීමෙන් පසු ඉතිරි වන ක්‍රීඩකයින් සලකා බලා ආසියානු ක්‍රීඩා උළෙල වෙනුවෙන් සංචිතය නම් කරනු ඇති බවයි අනුමාන කෙරෙන්නේ.

එහි දී මීට පෙර හෙළිදරව් වූ පරිදි ආසියානු ක්‍රීඩා උළෙල වෙනුවෙන් නම් කරන ඉන්දීය කණ්ඩායමේ නායකත්වය Shikhar Dhawan හට හිමි වනු ඇති අතර, ඊට අමතරව නිමාවූ IPL තරගාවලියේ විශිෂ්ට දක්ෂතා පෙන්වූ Rinku Singh, Jithesh Sharma වැනි ක්‍රීඩකයින් ද එම කණ්ඩායම සඳහා නම් කරනු ඇති බවයි Hindustan Times මගින් අනාවරණය කරන්නේ.

නමුත් පසුගිය වසරේ පැවැත්වුණු පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ දී කාන්තා ක්‍රිකට් ඉසව්වෙන් රිදී පදක්කමක් ජයග්‍රහණය කළ ඉන්දීය කාන්තා කණ්ඩායමට එවැනි ගැට‍ළුවක් උද්ගත වී නැහැ. එම නිසා ඔවුන් සිය උපරිම ශක්තිය මෙවර ආසියානු ක්‍රීඩා උළෙල වෙනුවෙන් ද යොදවනු ඇති බව අනුමාන කළ හැකියි.

මීට පෙර පැවැත්වුණු ආසියානු ක්‍රීඩා උළෙල දෙකක දී (2010 සහ 2014) ක්‍රිකට් ක්‍රීඩාව මෙම තරගාවලියට ඇතුළත් කර තිබූ නමුත් ඉන්දියාව ඒ වෙනුවෙන් කණ්ඩායම් සහභාගී කළේ නැහැ.

එමෙන්ම මෙම ඓතිහාසික තීරණයට අමතරව BCCI විසින් තවත් ප්‍රධාන තීරණ කිහිපයක් ගෙන තිබෙනවා.

  • විශ්‍රාමික ඉන්දීය ක්‍රීඩකයින් ද ඇතුළුව විදෙස් විස්සයි විස්ස ලීග් තරගාවලි සඳහා ඉන්දීය ක්‍රීඩකයින් සහභාගී වීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපත්තියක් සකස් කිරීම.
  • 2023 IPL තරගාවලියේ භාවිත වූ පරිදි ම Syed Mushtaq Ali තරගාවලියේ දී ද Impact Player නීතිය ක්‍රියාත්මක කිරීම.
  •  එම තරගාවලියේ දී පන්දුවාරයකට බවුන්සර් පන්දු දෙකක් යොමු කිරීමට අවස්ථාව ලබා දීම.
  • එළඹෙන ලෝක කුසලානය වෙනුවෙන් සහ ඊට අමතරව ද ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාංගණ ද වැඩි දියුණු කිරීම.

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<