අවසානයක් නොවන අවසන් තරගයට පෙර

ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ සුපිරි 6 දෙනාගේ වටය

1163
Sri Lanka vs Netherlands Final

2023 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවති සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී එම කඩඉම සමත් වූ කණ්ඩායම් 2 අතර පැවැත්වෙන අවසන් මහා තරගය මේ මස 09 වැනිදා (අද) ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර Harare Sports Club ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.  

මෙම තරගාවලිය සහ අනෙකුත් තරග තොරතුරුත් සමඟින් ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය එක්දින ක්‍රිකට් තරගවල දී මෙතෙක් සිව්වරක් එකිනෙකා හමු වී ඇති අතර ඉන් සෑම අවස්ථාවක ම ජයග්‍රහණය ලබා ඇත්තේ ශ්‍රී ලංකාවයි. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම 

ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි 6 වටයේ දී පළමුවෙන් ම හමුවෙන්නේ නෙදර්ලන්ත කණ්ඩායමයි. එම තරගයේ දී ශ්‍රී ලංකාවට ලකුණු 21ක ජයග්‍රහණයක් හිමි කර ගන්නවා. තරගාවලියේ පළමු වටයේ සේ ම සුපිරි කණ්ඩායම් 6 දෙනාගේ වටයේ දී ද  තම අපරාජිත බව රැක ගනිමිනුයි ශ්‍රී ලංකාව මෙම තරගයට පිවිසෙන්නේ. 

එබැවින් ශ්‍රී ලංකාව මෙම තරගය වෙනුවෙන් අභියෝගයක් නොමැතිව සහභාගී වෙනු ඇතැයි විශ්වාස කළ හැකි. මෙතෙක් අපරාජිත ව සිටීමත් සහ ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා සිටීමත් හේතුවෙන් ඔවුන්ට අවසාන මහා තරගයේ කණ්ඩායම නම් කිරීමේ දී පීඩනයකින් තොරව තීරණ ගැනීමේ හැකියාව විවර වී තිබෙනවා.  

එසේ වූවත් නිමා වූ බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ තරගයේ දී කණ්ඩායම හා එක් වූ දුෂාන් හේමන්ත සහ සහන් ආරච්චිගේ මෙම තරගයට ද කැඳවනවා , යන්න තීරණයේ දී පමණක් ඔවුන්ට දෙවරක් සිතීමට සිදු වනු ඇත. 

නමුත් මේ වෙද්දී සිම්බාබ්වේ බලා ගිය කණ්ඩායම තම අවශ්‍යතාව ලෙහෙසියෙන් ම සපුරා ඇති බැවින් ඇතැම් විට පෙර තරගයේ දී ක්‍රීඩා කළ කණ්ඩායම ම මෙම තරගයේ දී ද කැඳවෙනු ඇතැයි සිතිය හැකි.  

නෙදර්ලන්තයට එරෙහිව අවසන් මහා තරගයේ දී පිටියට පිවිසෙතැයි අනුමාන කරන ශ්‍රී ලංකා කණ්ඩායම: දසුන් ශානක (නායක) පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස් (කඩුලු රකින්නා) සධීර සමරවික්‍රම, චරිත් අසලංක, සහන් ආරච්චිගේ, දුශාන් හේමන්ත, මහීෂ් තික්ෂණ, මතීෂ පිතිරණ, ඩිල්ශාන් මධුශංක. 

නෙදර්ලන්ත කණ්ඩායමේ සූදානම 

නෙදර්ලන්තය මෙම තරගාවලියේ සුපිරි 6 වටයේ දී මේ දක්වා ආ ගමනේ දී පරාජය වෙන්නේ ශ්‍රී ලංකාවට පමණයි. අනෙකුත් තරග ජයග්‍රහණ කරන ඔවුන් තරගාවලියේ දී පෙරළිකාර ජයග්‍රහණ 2ක් වාර්තා කිරීමට සමත් වෙනවා.  

පළමු තරගය වූයේ බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟින් තරගයේ ලකුණු සම කර ගැනීමෙන් අනතුරුව පැවති සුපිරි පන්දු වාරයේ දී සුපිරි ජයග්‍රහණයක් වාර්තා කර ගැනීමයි. අනෙක් තරගය වූයේ ස්කොට්ලන්තයට සමඟ වූ තරගයේ දී කඩුලු 4ක ජයග්‍රහණයක් වාර්තා කිරීමයි. 

එම ජයග්‍රහණයත් සමඟින් පරිපූර්ණ වූ නෙදර්ලන්ත ක්‍රීඩකයෝ මෙම තරගයේ දී ද බොහෝ විට තම සුපුරුදු කණ්ඩායම තරගයට කැඳවෙනු ඇතැයි විශ්වාස කළ හැකියි.  

ශ්‍රී ලංකාවට එරෙහිව අවසන් මහා තරගයේ දී පිටියට පිවිසෙතැයි අනුමාන කරන නෙදර්ලන්ත කණ්ඩායම: Scott Edwards (නායකයා සහ කඩුලු රකින්නා) Vikramjit Singh, Max O’Dowd, Wesley Barresi, Bas de Leede, Teja Nidamanuru, Saqib Zulfiqar, Logan van Beek, Ryan Klein, Aryan Dutt, Clayton Floyd,  

Scott Edwards 

26 වැනි වියේ පසුවෙන Scott Edwards මේ දක්වා නෙදර්ලන්ත කණ්ඩායම 17 වතාවක් මෙහෙයවා ඇති අතර ඉන් ජයග්‍රහණ වාර්තා කිරීමට හැකි වෙන්නේ තරග 5ක දී පමණයි. අනෙකුත් තරග අතරින් තරග 11ක් පරාජය වෙද්දී එක් තරගයක් ලකුණු සම වීමෙන් අවසන් කර ගැනීමට ඔහු සමත් වෙනවා.  

ඔහු මෙම තරගාවලියේ දී තරග 7කට සහභාගී වෙමින් මේ වන විට ලකුණු 313ක් ලබා සිටින්නේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය ද 78.25ක අගයක් තබා ගනිමින්.  

පෙර වටයේ නිමා වූ තරග 4ක ඉනිම් 3ක දී අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 217ක් ලබා ගැනීමට ඔහු සමත් වෙනවා. එහි ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 108.5ක්. එබැවින් නෙදර්ලන්ත පිතිකරණය මොහු වටා තීරණය වෙනු ඇතැයි සිතිය හැකියි.  

කෙසේ වෙතත් Scott Edwards මේ දක්වා එක්දින තරග 34ක ඉනිම් 31ක දී ලකුණු 1211ක් සහ කඩුල්ල පිටුපස සිටමින් දවා ගැනීමේ 41කට දායකත්වය දැක්වීමට සමත් ව සිටිනවා.  

Max O’Dowd 

29 හැවිරිදි වියේ පසුවෙන මේ දකුණත් ආරම්භක පිතිකරුවා නෙදර්ලන්ත පිතිකරණ ලැයිස්තුවේ විශ්වාසවන්තයායි. සිම්බාබ්වේ කණ්ඩායමට සහ නේපාල කණ්ඩායමට එරෙහිව ලබා ගත් අර්ධ ශතක ද සමඟින් ඔහු මෙම තරගාවලියේ මෙතෙක් වාර්තා කරන ලද ලකුණු සංඛ්‍යාව 266ක් 

ඔහු එක්දින තරග 32කට සහභාගී වෙමින් අර්ධ ශතක 10ක් සමඟින් මෙතෙක් ලබා ඇති ලකුණු සංඛ්‍යාව 1125ක් 

Bas de Leede 

23 හැවිරිදි වියේ පසුවෙන Bas de Leede මෙම තරගාවලියේ නිමා වූ ස්කොට්ලන්ත තරගයේ දී ලබා ගත් ශතකයත් සමඟින් තරග 7ක දී ලබා ඇති ලකුණු සංඛ්‍යාව 285ක්. 

දකුණතින් මද වේගපන්දු යවන කණ්ඩායමේ විශ්වාසවන්ත ප්‍රධාන පන්දු යවන්නා ද වන ඔහු මෙම තරගාවලියේ දී මේ දක්වා කඩුලු 15ක් ලබා ගනිමින් දක්ෂතා දක්වා තිබෙනවා.  

ඔහු එක්දින තරග ඉතිහාසයේ තරග 30කට මුහුණ දෙමින් ශතකයක් සහ අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 765ක් ලබා සිටින අතර දකුණතින් මද වේගපන්දු යවන්නෙක් ලෙසින් ද කටයුතු කරමින් කඩුලු 24ක් ලබා සිටිනවා. 

Teja Nidamanuru 

28 හැවිරිදි වියේ පසුවෙන Teja Nidamanuru එක්දින පිටියට පිවිස මේ ගත කරන්නේ පළමු වසරයි. මේ කාලය තුළ එක්දින තරග 19කට පමණක් සහභාගී වී ඇති ඔහු ලබා ඇති ලකුණු සංඛ්‍යාව 501ක්. ඊට ශතක 2ක් සහ අර්ධ ශතක 2ක් එක් කිරීමට ඔහු සමත් වෙනවා.  

ඉන් එක් ශතකයක් මෙම තරගාවලියේ පළමු වටයේ දී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව වාර්තා කරන අතර එය ඔහුගේ එක්දින තරග දිවියේ ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් කර ගන්නවා.  

එම ශතකයත් සහ ඇමෙරිකා කණ්ඩායමට එරෙහිව ලබා ගන්නා ලද අර්ධ ශතකයත් සමඟින් ඔහු මේ දක්වා මෙම තරගාවලියේ දී වාර්තා කරන ලද ලකුණු සංඛ්‍යාව 184ක්. 

Vikramjit Singh 

පංජාබ් හී උපත ලැබූ 20 හැවිරිදි වියේ පසුවෙන වමත් පිතිකරු Vikramjit Singh නෙදර්ලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරුවායි. ඔහු මෙම තරගාවලියේ දී මේ දක්වා තරග 7කට සහභාගී වෙමින් ලකුණු 313ක් ලබා ඇති අතර ඊට ඕමානයට එරෙහිව ලබා ගත් ශතකයක් සහ සිම්බාබ්වේට එරෙහිව ලබා ගත් අර්ධ ශතකයක් ද ඇතුළත්. දකුණතින් මද වේගපන්දු යැවූ ඔහු කඩුලු 4ක් ද දවා ගනිමින් දක්ෂතා දැක්වූවා.   

ඔහු එක්දින පිටියේ තරග 24කට සහභාගී වෙමින් මේ දක්වා ලබා ඇති ලකුණු සංඛ්‍යාව 795ක් 

Wesley Barresi 

මෙතෙක් තරගාවලියේ දී ඔහු තරග 7කට සහභාගී වෙමින් අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 223ක් ලබා සිටිනවා. 39 හැවිරිදි වියේ පසුවෙන ඔහු මේ දක්වා එක්දින තරග 44කට සහභාගී වෙමින් ශතකයක් සහ අර්ධ ශතක 8ක් සමඟින් ලකුණු 1193ක් ලබා සිටිනවා.  

Logan van Beek 

දකුණතින් මද වේගපන්දු යවන 32 වැනි වියේ පසුවෙන Logan van Beek ක්‍රියාත්මක තරගාවලියේ තරග 7ක දී කඩුලු 10ක් දවා ගනිමින් දක්ෂතා දක්වා සිටිනවා.  

එක්දින තරග පිටියේ තරග 24කට සහභාගී වෙමින් කඩුලු 32ක් ලබා සිටින ඔහු පිතිකරුවෙක් ලෙසින් ද ලකුණු 317ක් ලබා සිටිනවා.  

ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ සුපිරි 6 වටයේ තරගාවලියේ සියලු තොරතුරු සැණෙකින් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<