ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය ඇරඹෙන්නේ 1982 වර්ෂයෙනි. කෙටි කාලයක දී ම ලෝක ක්‍රිකට්ලෝලීන්ගේ අවධානය ශ්‍රී ලංකාව වෙත යොමු කර ගනිමින් ලොව සටන්කාමී ටෙස්ට් කණ්ඩායමක් බවට පත්වීමට ශ්‍රී ලංකාවට හැකි විය. ’82 වසරේ දී එංගලන්තයට එරෙහිව සිය මංගල ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කරමින් තබන ලද ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් පියවර, 1996 දී එක්දින ලෝක ශූරයන් බවට පත්වීමත් සමඟින් කූටප්‍රාප්ත වූ අතර එතැනින් ද නොනැවතී 2014 දී ශ්‍රී ලංකාව ලද විස්සයි විස්ස ලෝක ශූරතාවයට ද පෙරගමන් සැපයීය.

ටෙස්ට් ශ්‍රේණිය දක්වා උසස්වන්නට පෙර සිටම දක්ෂතාවයෙන් පරිපූර්ණ පිතිකරුවන් රැසකගේම දායකත්වය ලැබීමට ලක්මව වාසනාවන්ත වී ඇති බව ද මෙහිලා සටහන් කළ යුතුයි.

10. තිලාන් සමරවීර

Supersport.com
Supersport.com

වඩාත්ම අවතක්සේරුවට ලක්වූ ශ්‍රී ලාංකික ටෙස්ට්පිතිකරුවා ඔහු යැයි සඳහන් කළහොත් කිසිදු ශ්‍රී ලාංකිකයෙකු පුදුමයට පත්නොවනු ඇත. ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට දඟපන්දු යවන්නෙකු ලෙසින් එක්වූ ඔහු, තම පළමු ටෙස්ට් තරගයේ දී ම අංක 7 ස්ථානයෙන් පිටියට පිවිසී, ශතකයක් වාර්තා කරමින් තම පිතිකරණ දක්ෂතා තහවුරු කළේය.

ස්ථාවරව දිගු ඉනිම් ක්‍රීඩා කිරීමේ කුසලතාවයකින් හෙබි සමරවීර, ජය ගැනීමට අපහසු තරග බොහොමයක් පරාජය වීමෙන් තොරව බේරා ගැනීම වෙනුවෙන් මහත් කාර්යභාරයක් ඉටුකර ඇති බව නොරහසකි. ඉන්දියාවේ වී. වී. එස්. ලක්ෂ්මන් හා සමානව ශ්‍රී ලංකාවේ මැදපෙළ, ශක්තිමත් නැංගුරමක් සේ රඳවා තබා ගත්තේ ඔහු ය. දිගු කාලයක් ඉවසීමෙන් ක්‍රීඩා කිරීමේ හැකියාව ඔහු සතුවිය.

2009 වසරේ පකිස්තානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් තුවාල ලැබූ ඔහු, ඉන් මාස කිහිපයක දී සුවය ලබා නැවතත් ක්‍රීඩාවට එක්වූ අතර 2010 වසරේ ඉන්දියාවට එරෙහිව පැවති දෙවන ටෙස්ට් තරගයේ ඉනිම් දෙකේදීම නොදැවී ලකුණු 76ක් සහ 10ක් ද, තෙවන ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී නොදැවී ලකුණු 137ක් සහ දෙවන ඉනිමේ දී ලකුණු 83ක් ද වාර්තා කළේය.

ටෙස්ට් තරග 81ක් තුළ දී ලබා ගත් ද්විත්ව ශතක 2ක් සහ ශතක 14ක්ද ඇතුළුව මුළු ලකුණු 5,462ක් ඔහු සතුය. ටෙස්ට් ඉනිමක ඔහුගේ පිතිකරණ සාමාන්‍යය, ලකුණු 48.76 කි.

09. ඇන්ජලෝ මැතිව්ස්

Dailymail.co.uk
Dailymail.co.uk

ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පා තබන අවධියේ දී බොහෝ විචාරකයන්ගේ මතය වූයේ “ක්‍රිකට් ලොවේ මීළඟ ජැක් කාලිස්” මොහු වනු ඇති බවය. ඔහු සම්පූර්ණ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වීම ඊට හේතුවයි. අංක 4, 5, 6 යන පිතිකරණ ස්ථානයන් වල ක්‍රීඩා කළ හැකි ඔහුට අඩු ලකුණු ලබා දෙමින් පන්දු යැවීමේ හැකියාවක් ද පවතියි. අනෙක් අතින් ඔහු දක්ෂ පන්දු රකින්නෙකු ද වේ. මේ සියල්ලට ඔහුට ඇති බාධකය නම් වරින්වර නැගෙන පාදයේ ආබාධ තත්වයයි.

පිතිකරුවෙකු වශයෙන් අධි වේගයෙන් සහ මඳ වේගයෙන් යන දෙයාකාරයෙන්ම ක්‍රීඩා කළ හැකි ක්‍රීඩකයෙකු වන මැතිව්ස්, තරග අවසන් කරන්නෙකු (finisher) ලෙස ප්‍රකට ය. 2014 වර්ෂයේ පකිස්තානයට එරෙහිව ගාල්ලේ දී පැවති ටෙස්ට් තරගය ජය ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට අවශ්‍යව තිබූ ලකුණු 99 ලබා ගැනීම සඳහා තරගයේ 5 වැනි දිනය තුළ දී මඳ වේග තණතිල්ලක් මත ඔහු දැක්වූ වික්‍රමය ඔබට මතක ඇති. එහි දී වර්ෂාව පිටියට ඇදහැලෙන්නට පටන් ගත් බැවින් තවත් පන්දුවකින් පසු තරගය අත්හිටුවීමට විනිසුරුවන් තීරණය කළේය. ඒ මොහොත වන විට ශ්‍රී ලංකාවට අවශ්‍යව තිබූ ලකුණු 6, එක් හයේ පහරකින් සම්පූර්ණ කර ගත් මැතිව්ස්, කණ්ඩායමට ජය ගෙන ආවේ පන්දු 13ක් තුළ ලකුණු 25ක් ලබා ගනිමිනි. එමෙන්ම 2010 වසරේ දී ලසිත් මාලිංග හා එක්ව මෙල්බර්න් ක්‍රීඩාංගණයේ දී ඕස්ට්‍රේලියාව පරාජය කළ ඉනිම ද මැතිව්ස්ගේ ‘අවසන් කිරීමේ දක්ෂතාවය’ මැනවින් තහවුරු කරයි.

දැනට (2017-04) ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය ද හොබවන මැතිව්ස්, ටෙස්ට් තරග 65ක් තුළ දී ලකුණු 4,470ක් ලබාගෙන ඇත්තේ ශතක 7ක්ද සහිතවය. ටෙස්ට් ඉනිමක ඔහුගේ පිතිකරණ සාමාන්‍යය, ලකුණු 46.08 කි.

08. දුලිප් මෙන්ඩිස්

Imgci.com
Imgci.com

මිටි, එමෙන්ම තරබාරු වුවද වැරෙන් පන්දුවට පහර දෙන්නෙකු ලෙස ප්‍රකට දුලිප් මෙන්ඩිස්, 1975දී පැවති පළමු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ද නියෝජනය කළ ශ්‍රී ලාංකික පිතිකරුවෙකි. ශ්‍රී ලංකාව සහභාගී වූ තෙවන ටෙස්ට් තරගයේ සිට කණ්ඩායමේ නායකත්වය හෙබවූයේ ද ඔහුයි. 70 සහ 80 දශකයේ දී ටෙස්ට් ලොවේ ආධුනිකයන් ලෙස දැවැන්ත කණ්ඩායම් හා සටන් වැදුණු ඔහුවන් පිතිකරුවන් නිසා කිසිවෙකුට ශ්‍රී ලංකාව ලෙහෙසි කොට තකන්නට ඉඩ නොලැබිණි.

1982/83 තරග වාරයේ දී ඉන්දියාවට එරෙහිව මදුරාසියේ දී පැවති ටෙස්ට් තරගයේ ඉනිම් දෙකේ දී ම ලකුණු 105 බැගින් ලබා ගන්නට ඔහු සමත් වූ අතර 1985/86 වසරේ එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගයක දී ලෝඩ්ස් ක්‍රීඩාංගණය වර්ණවත් කරමින් පළමු ඉනිමේ දී ලකුණු 111කුත් දෙවන ඉනිමේ දී ලකුණු 94කුත් ඔහු ලබා ගත්තේය. වේගවත් හුක් සහ පුල් පහරවල් එම ඉනිමේ සලකුණක් විය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් හිමි වන විට ඔහු ඔහුගේ තිස්වන විය ද ඉක්මවමින් සිටියේය.

එකල ශ්‍රී ලංකා කණ්ඩායමට වැඩි වශයෙන් ටෙස්ට් තරග හිමි නොවීම නිසා තරග 24ක් තුළ දී ඔහුගේ ටෙස්ට් දිවිය නිමාවූවත් ඒ වන විට මුළු ලකුණු 1,329ක් ලබා සිටි ඔහු ශතක 4ක් සහ අර්ධ ශතක 8ක් ලබාගෙන තිබුණි. අවසන් ටෙස්ට් තරගය තුළ දී ද ලකුණු 56ක් වාර්තා කළ ඔහුගේ ටෙස්ට් ඉනිමක ලකුණු සාමාන්‍යය, 31.64කි.

07. රෝයි ඩයස්

Imgci.com
Imgci.com

ඔබ මෑතක දී ක්‍රිකට් ප්‍රේක්ෂකයෙකු බවට පත්වූවෙකු නම් ඔබට මාවන් අතපත්තුගේ කලාත්මක පිතිකරණය හොඳින් මතක ඇති. නමුත් බොහෝ ප්‍රවීණ ක්‍රිකට් විචාරකයන්ගේ මතය නම්, ශ්‍රී ලංකාවෙන් බිහිවූ වඩාත් කලාත්මක සහ තාක්ෂණික පිතිකරුවා රෝයි ඩයස් බවයි. ශ්‍රී ලංකාව ලොව ප්‍රකට ක්‍රිකට් රාජ්‍යයක් වන්නටත් පෙර සිටම තම අලංකාර කවර් ඩ්‍රයිව් පහරවල් සහ ෆ්ලික් කිරීම් මඟින් නරඹන්නන්ගේ නෙත් ඇද බැඳ තබා ගත් ඔහු ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ අංක 3 ස්ථානයේ අයිතිය දිගු කලක් පවත්වා ගත්තෙකි.

පිටිය තුළ දී නිවුණු පිතිකරුවෙකුගේ ලක්ෂණ සහිත වූ රෝයි ඩයස්, 70 දශකයේ සිට 80 දශකය වන තෙක්ම ශ්‍රී ලංකා කණ්ඩායම තුළ ක්‍රීඩා කළ අතර ටෙස්ට් තරග 20ක දී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ වාසනාව ලද්දේය. ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය වෙනුවෙන් 1985/86 තරග වාරය තුළ ඉන්දියාවට එරෙහිව ඔහු දැක්වූ ප්‍රදර්ශනය ඉන් අනුස්මරණීය වේ. එම තරගාවලියේ දෙවන ටෙස්ට් තරගය තුළ දී ඉනිම් දෙකේ දී ම අර්ධ ශතක දෙකක් වාර්තා කරමින් ඔහු ශ්‍රී ලංකා ජයග්‍රහණයට මාවත හෙළි කළ අතර තෙවන ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකාව පරාජයෙන් මුදවා ගනිමින් ඔහු ලකුණු 106ක් වාර්තා කළේය.

ටෙස්ට් තරග 20ක් තුළ දී ශතක 3ක්, අර්ධ ශතක 8ක් සමඟින් මුළු ලකුණු 1,285ක් රැස්කළ ඔහුගේ එක් ටෙස්ට් ඉනිමක ලකුණු සාමාන්‍යය, 36.71 කි.

06. මාවන් අතපත්තු

Tribuneindia.com
Tribuneindia.com

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ රෝයි ඩයස්ට පසු බිහිවූ තාක්ෂණයෙන් පරිපූර්ණතම පිතිකරුවා මාවන් අතපත්තු ය. ඔහුගේ කවර් ඩ්‍රයිව් පහරවල් ඉතාමත් දැකුම්කළු වූ අතර ඔහු එල්ල කරන සෑම පහරක්ම පාහේ උසස් තාක්ෂණයෙන් යුක්ත විය.

ඔහුගේ ටෙස්ට් දිවිය ඇරඹෙන්නේ බිංදු කිහිපයකිනි. එහෙත් වසර කිහිපයක නොපසුබස්නා උත්සාහය තුළින් සාර්ථක පිතිකරුවෙකු වන්නට ඔහු සමත් විය. ඔහු ක්‍රිකට් දිවියෙන් සමුගන්නා විට ලොව වැඩිම ටෙස්ට් ද්විත්ව ශතක ලාභීන් අතර සිව්වන ස්ථානය ඔහු සතු විය. ඔහු විසින් වාර්තා කළ ද්විත්ව ශතක ගණන 6ක් වූ අතර ඔහු පිටියේ ස්ථාවර වූ පසුව ඔහුව දවා ගැනීම සෑම ප්‍රතිවාදී කණ්ඩායමකටම හිසරදයක් විය. පසුව ශ්‍රී ලංකා ටෙස්ට් හා එක්දින නායකත්වයට ද පත්වූ අතපත්තු, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාරීත්වය ද දැරීය.

ටෙස්ට් ශතක 16කට හිමිකම් කියන අතපත්තු ලබාගෙන ඇති අර්ධ ශතක ගණන 17කි. ඉන් ගම්‍ය වන්නේ කුඩා ආරම්භයක් විශාල අවසානයක් කරා ගෙන යාමට ඔහුට තිබූ හැකියාවයි. ටෙස්ට් තරග 90ක් තුළ දී මුළු ලකුණු 5,502ක් ලබාගෙන ඇති ඔහුගේ ටෙස්ට් ඉනිමක ලකුණු සාමාන්‍යය, 39.02කි.

05. ටී.එම්. ඩිල්ෂාන්

Imgci.com
Imgci.com

පුහුණුවට වඩා උපන් හපන්කමෙන් සවිමත් වූ ඩිල්ෂාන්, ලොව වේගයෙන්ම පන්දුවට පහර දුන් කිහිප දෙනාගෙන් එක් අයෙකි. විවියන් රිචඩ්ස්, විරේන්දර් ෂෙවාග් ආදී, ‘ඇසත් බාහු යුගලයත් යොදා ගෙන පන්දුවට පහර දීමේ විරල හැකියාවෙන්’ (hand-eye co-ordination) යුක්ත වූ ඔහුට ඔහුගේ මුල් කාලයේ දී පිට ඉන්නෙන් ඉවතට ඇදී යන පන්දුවලට පහර දීමේ ලැදියාවක් තිබූ නමුත් පසුව පා ඉන්නෙන් ඉවතට පහරවල් එල්ල කිරීමේ පුරුදු පුහුණුව ද ඔහු විසින් ලබා ගන්නා ලදී.

ඔහු කඩුලු අතර වේගවත් ධාවකයෙකි. එමෙන්ම ධනාත්මක මනසක් ද සහිත වූ බැවින් ඕනෑම පන්දු යවන බල ඇණියක් දණ ගැස්වීමේ හැකියාව ඔහුට තිබුණි. පසුව තමාගේ නමින්ම ක්‍රිකට් පොතට පහරක් එකතු කිරීමට ඔහු සමත් වූ අතර එය නමින් ‘ඩිල්ස්කූප්’ (Dil-scoop) නම් විය.

තාක්ෂණික අතින් එතරම් පරිපූර්ණ නොවුණත් දස්කම් දැක්වීමට එය බාධාවක් කර නොගත් ඔහු වෙනුවෙන් ඔහුගේ වාර්තා සාක්ෂි දරයි. විශේෂයෙන්ම සීමිත ඕවර තරග තුළදී තම උපරිම දස්කම් වලට ළඟාවූ ඩිල්ෂාන්, ටෙස්ට් තරග තුළ දී ද දස්කම් පා ඇති බව මෙසේ තහවුරු කළ හැකිය.

ටෙස්ට් තරග 87ක් තුළ දී මුළු ලකුණු 5,492ක් ලබා ඇති ඩිල්ෂාන් ටෙස්ට් ශතක 16ක හිමිකරුවෙකු වන අතර ටෙස්ට් ඉනිමක ඔහුගේ ලකුණු සාමාන්‍යය, 40.98 කි.

04. මහේල ජයවර්ධන

Drop.ndtv.com
Drop.ndtv.com

වයස අවුරුදු 13ක තරම් ලාබාල වියෙහි දී ම “මීළඟ ශ්‍රී ලංකා ටෙස්ට් නායකයෙකු” වනු ඇතැයි ප්‍රවීණ ක්‍රිකට් විචාරකයන්ගේ කතාබහට පාත්‍ර වූ මහේල ජයවර්ධන, තම මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කරන විට වයස අවුරුදු 19ක සුහුඹුල් තරුණයෙකු විය. ඔහුගේ මංගල ටෙස්ට් තරගය ශ්‍රී ලංකාවට මහත් ගෞරවයක් කැන්දා ගෙන ආ ටෙස්ට් තරගයක් බව ඔබට මතක ද?

1997 වසරේ දී ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කළ අතර මහේල එහි කොටස්කරුවෙකි. එදා ශ්‍රී ලංකාව කඩුලු 6ක් දැවී වාර්තා කළ දැවැන්ත ලකුණු 952, මේ වන විටත් “එක් ඉනිමක දී කණ්ඩායමක් වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව” වේ. ඊට මහේලගේ මංගල ටෙස්ට් අර්ධ ශතකය ද (66) ඇතුළත් ය. එදා තම ටෙස්ට් දිවිය ආරම්භ කළ මහේල, ටෙස්ට් සහ එක්දින යන දෙඅංශයෙන්ම ශ්‍රී ලාංකිකයන්ට අමතක නොවන ඉනිම් කිහිපයක්ම ක්‍රීඩා කොට ඇත.

කඩා වැටුණු ශ්‍රී ලංකා ඉනිම් ඔහු විසින් ගොඩ ගත් අවස්ථාවන් බොහෝමයකි. එක්දින ශතක 19ක සහ අර්ධ ශතක 77ක හිමිකාරීත්වය ද, ශ්‍රී ලාංකිකයෙකු ඉනිමක දී වාර්තා කළ වැඩිම ටෙස්ට් ලකුණු (374) වාර්තාවේ හිමිකාරීත්වය ද ඔහු සතුය. එමෙන්ම කුමාර් සංගක්කාර හා එක්ව “මෙතෙක් ටෙස්ට් ඉනිමක වාර්තා වූ වැඩිම ලකුණු සබඳතාව” (624) වාර්තා කරන්නට ද ඔහු සමත් විය. පිටියේ ඕනෑම හිඩැසකට පන්දුව තල්ලු කර යවා ලකුණු ලබා ගැනීමට ඔහුට තිබූ හැකියාව හේතුවෙන් වරෙක ලෝ ප්‍රකට ක්‍රිකට් විචාරක නසාර් හුසේන් විසින් ඔහුට “දුහුල් අත් ඇත්තා” (silky hands) යන නම ද පටබඳිනු ලැබිණි.

එක් ක්‍රීඩාංගණයක් තුළ දී ක්‍රීඩකයෙකු ලබා ගත් වැඩිම ටෙස්ට් ලකුණු වාර්තාව ද පවතින්නේ ඔහු සන්තකයේයි. ඒ SSC ක්‍රීඩාංගණයේ දී ලබා ගත් මුළු ලකුණු 2921 සමඟිනි.

ටෙස්ට් තරග 149ක් තුළ දී මුළු ලකුණු 11,814ක් ඔහු විසින් ලබාගෙන ඇති අතර ඊට ත්‍රිත්ව ශතක 1ක්, ද්විත්ව ශතක 7ක් සහ ශතක 34ක් ඇතුළත්ය. ටෙස්ට් ඉනිමක ලකුණු සාමාන්‍යය, 49.85 කි.

03. සනත් ජයසූරිය

Thesun.co.uk
Thesun.co.uk

පන්දු රකින්නන්ට සීමා නොතිබුණු යුගයක, ක්‍රිකට් පිතිවල තාක්ෂණික මට්ටම අද මෙන් ඉහළ මට්ටමක නොතිබූ යුගයක, වේගවත් ක්‍රිකට් ක්‍රීඩාවක් (power cricket) ගැන කිසිවෙකු අසා නොතිබූ යුගයක ක්‍රිකට් ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු කළ පිතිකරුවා සනත් ජයසූරිය යි. ක්‍රිකට් ක්‍රීඩාව අද පවතින වාණිජමය තත්වය දක්වා රැගෙන ඒම වෙනුවෙන් ප්‍රධානතම මෙහෙය සිදු කළ ක්‍රීඩකයා අන් කිසිවකු නොව ඔහුය.

එකල මන්දගාමී ක්‍රීඩාවක් ලෙස පැවතුණු සීමිත ඕවර ක්‍රිකට් ක්‍රීඩාව තුළ උපක්‍රමශීලී නායකයෙකු වූ ශ්‍රී ලංකාවේ අර්ජුන රණතුංගගේ මඟ පෙන්වීම යටතේ, පළමු පන්දු වාර 15 තුළ දී පන්දු රකින්නන්ට ඉහළින් පහරවල් එල්ල කොට ප්‍රවේගකාරීව ලකුණු රැස් කිරීමේ ක්‍රමය ලොවට හඳුන්වා දුන්නේ මේ ශක්තිමත් ශ්‍රී ලාංකිකයා ය. ඔහුටම ආවේණික ෆ්ලික් කිරීම් සහ අපර් කට් පහරවල්ද, දැවැන්ත හයේ පහරවල්ද යොදා ගනිමින් පන්දු යවන්නන් සුනුවිසුණු කළ සනත්, ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රේක්ෂකාකර්ෂණය රැගෙන ආවේය. ඔහු පන්දුවට පහර දෙන අසිරිය නැරඹීමට ක්‍රීඩාංගණ වෙත ඇදී ආවේ ශ්‍රී ලාංකිකයන් පමණක් නොවේ.

“සුනුවිසුණු කරන්නා” (master-blaster) යන විරුදාවලිය සහිත ඔහු පන්දු යවන්නන් කිහිප දෙනෙකුගේම ක්‍රිකට් අනාගතය බොඳ කර දැමුවේය. ඉන්දියාවේ මනෝජ් ප්‍රභාකර්, එංගලන්තයේ පිලිප් ඩි ෆ්‍රීටස් වැනි පන්දු යවන්නෝ ඔහුගෙන් පහර කා සදහටම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්තෝය. 1998 වර්ෂයේ දී පකිස්තානයට එරෙහි එක්දින තරගයක දී පන්දු 17ක් තුළ ලකුණු 50 සීමාව ද, පන්දු 48ක් තුළ ලකුණු 100 සීමාව ද පසු කරන්නට ඔහු සමත් විය. එකල විස්සයි-විස්ස ක්‍රීඩා රටාව ගැන කිසිවෙකු සිතා හෝ නොතිබුණි.

සිය එක්දින ක්‍රිකට් දිවිය තුළ දී හයේ පහර 270ක් සහ හතරේ පහර 1500ක් එල්ල කොට ඇති ඔහුට එක්දින ශතක 28ක් සහ අර්ධ ශතක 68ක් අයත් ය. එක්දින ලකුණු 13,000 සීමාවත් එක්දින කඩුලු 300 සීමාවත් පසු කළ ලොව එකම ක්‍රීඩකයා ද සනත් ජයසූරිය යි.

ටෙස්ට් තරග 110ක් තුළ දී මුළු ලකුණු 6,973ක් ලබා ඇති සනත්ට ටෙස්ට් ත්‍රිත්ව ශතක 1ක්, ද්විත්ව ශතක 3ක් සහ ශතක 14ක්ද වාර්තා කිරීමට හැකි විය. ඔහුගේ ටෙස්ට් ඉනිමක පිතිකරණ සාමාන්‍යය, ලකුණු 40.07 කි.

02. කුමාර් සංගක්කාර

Srilankacricket.lk
Srilankacricket.lk

උත්සාහයේ සහ කැපවීමේ පරම ප්‍රතිමූර්තියක් වන මොහු මෙම ලැයිස්තුවේ දෙවන තැන ගත්තත්, ඔබ සමහරෙකුගේ ලැයිස්තුවල පළමුවැන්නා ඔහු විය හැකිය. වයසින් කුඩා ක්‍රීඩකයෙකු වශයෙන් විචාරකයන් කිසිවෙකුගේ නෙත නොගැටුණු සංගක්කාර, නොනවතින කැපවීමේ සහ අප්‍රතිහත ධෛර්යයේ අනුහසින් ජාතික කණ්ඩායමට පියමනින විට වයස අවුරුදු 22ක තරුණයෙකු වූ අතර රොමේෂ් කළුවිතාරණගේ නික්මයාමෙන් ඇතිවූ කඩුලු රකින්නාගේ හිස්තැන පිරවීම ඔහුට අත්වූ කාර්යභාරයයි.

දෝෂාරෝපණ රැසක් මැද ආරම්භ කළ ක්‍රිකට් දිවිය කිසිවෙකුට ළඟාවිය නොහැකි මට්ටමක් දක්වා ඔසවා ගත් සංගක්කාර, තමාගේ පිතිකරණයේ යම් වරදක් දුටු විගස ඊට ප්‍රතිවිසඳුම් සොයා ගන්නෙකු ලෙස ප්‍රකටය. ආරම්භයෙන් තෙවසරක් ඉක්මයාමටත් මත්තෙන් “ලොව වටිනාම අංක 3 පිතිකරුවා” වීමේ භාග්‍යය ඔහුට ලැබුණේ නම ගිය ජාත්‍යන්තර ක්‍රීඩක ජැක් කාලිස් ද පසුකර යමිනි. ලකුණු කඳු ගොඩනැඟූ ඔහු ක්‍රිකට් ලොවේ මහත්මයෙකු ලෙස ලොව පුරා ප්‍රේක්ෂකයන්ගේ ගෞරවය දිනා ගත්තේය. එංගලන්තයේ “කව්ඩ්‍රි ක්‍රිකට් දේශනය” පැවැත්වීමේ වාසනාව ද ලද ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ‘නිල නොලත් තානාපතිවරයෙකු’ විය.

මෙතෙක් ටෙස්ට් පිතිකරුවෙකු වාර්තා කර ඇති වැඩිම ද්විත්ව ශතක ප්‍රමාණයේ වාර්තාවට ළංවූ සංගක්කාර, එහි දී දෙවන තැන ගන්නේ එතෙක් මෙතෙක් ලොව පහල වූ විශිෂ්ඨතම ටෙස්ට් පිතිකරු ලෙස සැලකෙන, ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ට පමණි. ක්‍රිකට් ක්‍රීඩකයෙකු, නායකයෙකු ලෙස පමණක් නොව, පිටිය මැද සහ ඉන් පිටත දී බුද්ධිමතෙකු ලෙස ද ගෞරවය දිනා ගත් ඔහු, ටෙස්ට් මුළු ලකුණු 5,000ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ලබා ගත් පිතිකරුවන් අතුරින් වැඩිම ලකුණු සාමාන්‍යයක් (57.4) සහිත පිතිකරුවාය. ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් මුළු ලකුණු ප්‍රමාණයක් වාර්තා කළ පිතිකරුවා ද සංගක්කාරයි. එක්දින පිතිකරුවෙකු වශයෙන් 2015 ලෝක කුසලාන තරගාවලියේ දී ඔහු පිට පිටම වාර්තා කළ ශතක 4, උසස් සහ පරිණත ක්‍රීඩකයෙකුගේ හැකියාවන් ලොවටම කියා පෑවේය. ඔහුගේ එක්දින ඉනිමක ලකුණු සාමාන්‍යය, 41.98කි.

ටෙස්ට් තරග 134ක දී ත්‍රිත්ව ශතක 1ක්, ද්විත්ව ශතක 11ක්, ශතක 38ක් සමඟින් මුළු ලකුණු 12,400ක් වාර්තා කළ සංගක්කාර, ජාත්‍යන්තර ටෙස්ට් පිටියට සමුදෙන විට ටෙස්ට් ඉනිමක දී ලකුණු 57.4ක සාමාන්‍යයක් රඳවාගෙන සිටියේය.

01. අරවින්ද ද සිල්වා

Kookaburra.biz
Kookaburra.biz

සිය කණ්ඩායම පහතට ඇදවැටෙන්නේ යම් මොහොතක ද, ඒ මොහොතේ දී හිස ඔසවන සටන්කාමියා ඔහුයි. එසේ තනිවම සටන් වදිමින්, කණ්ඩායම ජයටැඹ වෙත තල්ලු කර ගෙන යෑමේ විශේෂ හැකියාවක් ඔහු සතු විය. පළමු පන්දුවේ සිටම පන්දුව හොඳින් දර්ශනය කර ගැනීමේ හැකියාවක් සහිත වූ ඔහු ‘ආසියාවෙන් බිහිවූ හොඳම හුක් පහර එල්ල කරන්නා’ ලෙස හැඳින්වීම වැරදි නැත. වේගවත් සහ අලංකාර පහරවලින් යුක්ත වූ අරවින්ද පිටිය තුළ දී නිර්භය ක්‍රීඩකයෙකු විය.

ඔහු නොවන්නට, 1996 ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාව ලද විජයග්‍රහණය සැබෑවක් නොවන්නට ඉඩ තිබිණි. එහි මූලික වටයේ දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලකුණු 229ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 23කට කඩුලු 2ක් දැවී අසීරු අඩියක සිටිය දී අරවින්ද පිටියට පිවිසියේය. පන්දු වාර 37ක් පමණක් ගෙවී යද්දී ශ්‍රී ලංකාවට ඉලක්කය සපුරා ගන්නට හැකි අඩිතාලම, අසංක ගුරුසිංහ හා එක්වූ ඔහු විසින් නිර්මාණය කළේ පන්දු 86කදී ලකුණු 91ක් වාර්තා කරමිනි.

ඉන්දියාවට එරෙහිව පැවති ’96 ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේ දී ද පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාවේ කඩුලු 2ක් 1ලකුණක් තුළ දී දැවී ගියේය. අරවින්ද පිටියට පැමිණි පසු 3 වැනි කඩුල්ල ලෙස ගුරුසිංහ දැවුණේ මුළු ලකුණු තත්වය 35ක්ව තිබිය දී ය. ඒ කිසිවක් කිසිසේත්ම මායිම් නොකළ අරවින්ද, පන්දු 47කදී ලකුණු 66ක් වාර්තා කරමින් මැදපෙළට ශක්තියක් විය. ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති ’96 ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී ද එවැන්නක්ම සිදුවිය. ලකුණු 242ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාවේ පළමු කඩුලු 2 දැවුණේ ලකුණු 23ක් තුළ දී ය. එහිදීත් පිටියට පිවිසි අරවින්ද, තම සුපුරුදු සටන්කාමිත්වය ප්‍රදර්ශනය කරමින් තරගයේ ජය ශ්‍රී ලංකාව වෙත ලැබෙන තෙක්ම පිටියේ රැඳී සිටිමින්, නොදැවී ලකුණු 107ක් රැස්කළේය. විස්ඩන් ශ්‍රේණිගත කිරීම්වලට අනුව එය ලොව හොඳම පිතිකරණ දක්ෂතාවයන් අතර 8 වැනි ස්ථානයේ පවතින අතර ස්ථාන 100කින් යුත් එම ලැයිස්තුව තුළ 6 වරක් ඔහුගේ නම සටහන්ව ඇත.

2003 ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේ දී ද ඔහු ඔහුගේම විරියෙන් තරගය ඉදිරියට ගෙන ගිය නමුත් තවත් පිතිකරුවෙකු අතින් සිදුවූ අත්වැරැද්දක් හේතුවෙන් දුවද්දී දැවී යාමට ඔහුට සිදුවිය. එසේ නොවුණි නම්, තවත් ලෝක කුසලාන ජයග්‍රහණයක් ශ්‍රී ලංකා නෙත් මානයේ තිබූ බව මෙහි සටහන් කළ හැකිය. කණ්ඩායමට අවශ්‍යම මොහොතේ දී නැගී සිටිය හැකි අයෝමය මනසක් ඔහු සතුවීම ඊට හේතුවයි. ඔහුගේ ලකුණු වලින් ශ්‍රී ලංකාව ජය ලැබූ අවස්ථාවන් ප්‍රතිශතයක් ලෙස ඉහළය. එබැවින් ඔහු තරග දිනවූ පිතිකරුවෙකි.

ටෙස්ට් තරග 93ක් තුළ දී මුළු ලකුණු 6,361ක් ලබා ඇති අරවින්ද, ටෙස්ට් ද්විත්ව ශතක 2ක සහ ශතක 20ක හිමිකරුවෙකි. එක්දින මුළු ලකුණු 9,284ක් ද ලබාගෙන ඇති අරවින්දගේ ටෙස්ට් ඉනිමක ලකුණු සාමාන්‍යය, 42.97කි.

ගෞරවනීය සිහිකැඳවීම්

ටෙස්ට් වරම් ලද ශ්‍රී ලංකා පිතිකරණ පෙළහර දසදෙනෙකුට සීමා කළ නොහැක්කකි. ඉන් අමතක කළ නොහැකිම කිහිපදෙනෙකු මෙසේ ගෞරවයෙන් සිහිපත් කරන්නෙමු.

  • සිදත් වෙත්තමුණි – ටෙස්ට් තරග 23, මුළු ලකුණු 1221, ශතක 2, අර්ධ ශතක 6.
  • අර්ජුන රණතුංග – ටෙස්ට් තරග 93, මුළු ලකුණු 5105, ශතක 4, අර්ධ ශතක 38.
  • අසංක ගුරුසිංහ – ටෙස්ට් තරග 41, මුළු ලකුණු 2452, ශතක 7, අර්ධ ශතක 8.
  • හෂාන් තිලකරත්න – ටෙස්ට් තරග 83, මුළු ලකුණු 4545, ශතක 11, අර්ධ ශතක 20.
  • රොෂාන් මහානාම – ටෙස්ට් තරග 52, මුළු ලකුණු 2576, ශතක 4, අර්ධ ශතක 11.
  • රසල් ආනෝල්ඩ් – ටෙස්ට් තරග 44, මුළු ලකුණු 1821, ශතක 3, අර්ධ ශතක 10.

ඔබට අනුව, “දක්ෂතම ශ්‍රී ලාංකික පිතිකරුවන් කවුරුන් ද?”

 තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න